දුෂණ වංචා සනාථ කරන්න නීතීඥ සුගන්දිකාට සති දෙකක කාලයක්


 

( තිළිණි ද සිල්වා )


නීති ක්ෂේත්‍රයේ සහ පොලිස් නිලධාරීන් විසින් කළ බව  කියන  දුෂණ වංචා ගැන කතාකළ නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු මහත්මියට එම කරුණු සනාථ කිරීමට  ඇති සාක්ෂි සති දෙකක් ඇතුළත  ශ්‍රී ලංකා  නීතිඥ සංගමය වෙතට ඉදිරිපත් කරන්නැයි දන්වා ලිපියක් යවා ඇතැයි එම සංගමයේ සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා අද (01) ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.
 
නීති ක්ෂේත්‍රෙයේ සිදුවනවා යැයි කියන  අකටයුතුකම් සම්බන්ධයෙන් ඇය විසින් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ කළ කරුණු කිසිවක් මෙතෙක් නීතිඥ සංගමයට දැනුම්දී හෝ පැමිණිලි කර නොමැති බවද ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති එහිදී වැඩිදුරටත් කීය.
 
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස තම අත්සනින් යුතුව ඉකුත් 26 වැනිදා මෙම ලිපිය යොමුකළ බවත් එමගින් දැන්වූ පරිදි අදාළ සාක්ෂි ලැබීමෙන් පසුව ඒ පිළිබඳ සොයාබලන බවත් ඒ අනුව යම් පුද්ගලයකු වැරදිකරුවකු වේ නම් තරාතිරම නොබලා කටයුතු කරන බවත් නීතිඥ සංගමය එම ලිපියෙන් ඇයට දන්වා යැවූ බවද නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.

‘‘ මේ කිසිම ක්ෂේත්‍රයක් සර්ව සාධාරණයි කියලා අපි කියන්නේ නැහැ.  සියලුදෙනාවම එක කැද හැලියකට දාලා සම්පුර්ණයෙන් විචේචනය කිරීම නිතියේ ආදිපත්‍ය කඩාවැටීමට නීතියේ පාලනය කඩාවැටීමට හේතුවෙනවා.

අපි ඉන්නේ ඒක කරන්න නොවෙයි. මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්නයි අපි කැපවෙලා ඉන්නේ. නීති ක්ෂේත්‍රයේ ඇතැම් බරපතල ගැටලු තිබෙන අවස්ථා තිබෙනවා. නමුත් ඒ අතර අති විශාල බහුතරයක් ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කරන පිරිසක් සිටිනවා. 

මේ නිසා අවංකව සේවයකරන අයට අසාධාරණයක් කරනන් අපි සුදානම් නැහැ. අප සංගමය වෘත්තීය ආචාර ධර්ම උපරිමයෙන් රැකීම වෙනුවෙන් වගකීමකින් යුතුව කටයුතු කරන සංවිධානයක්.නීතීඥ සුගන්ධිකා මාරවිල අධිකරණයේදී හැසිරුණු ආකාරයක් සම්බන්ධයෙන් අප සංගමයටත් යම් කරුණු වාර්තා වී තිබෙනවා.
 
එදා නියෝජ්‍ය අමාත්‍ය  රංජන්  රාමනායක මහතා අධිකරණය විවේචනය කළාම ගත් පියවර ගැනීමට කටයුතු කළ අපි නාගානන්ද කොඩිතුවක්කු සහ සුගන්ධිකා ප්‍රනාන්දු යන යම් කිසි විනය විරෝධී ක්‍රියාවක් සිද කර ඇත්නම් ක්‍රමවේදයකට අනුව ඔවුන්ට එරෙහිව අපි කටයුතු කරනවා.

මේ නිසා අපි සුගන්ධිකා  මහත්මියට අපි සංගමය ලිඛිතව දැනුම්දුන්නා නීති ක්ෂේත්‍රය තුළ සිදුවෙනවා යැයි කියන අකටයුතුකම් පිළිබඳ සාක්ෂි දින 14 ක් ඇතුළත ලබාදෙන්න කියලා. එහිදී යම් කිසි කරුණක් මතුඋනොත් අපි එය අධිකරණසේවා කොමිෂන් සභාවට ඉදිරිපත්කරලා මැදිහත්වෙලා කටයුතු කරන්නම්. 

නීතිඥවරුන්ට විරුද්ධ කරුණු තියෙනවානම් ඒවා අපි හොයාබලන්නටත් කටයුතු කරන බව එම ලිපියේ සදහන්කර යැව්වා යැයි නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ අලි සබ්රි මහතා මෙසේ කීය.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග නීතිඥ සංගමයේ සභාපති යු .ආර් ද සිල්වා මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වන බව කොඩිතුවක්කු මහතා සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ කර තිබෙනවා.නමුත් එවැන්නක් සිදු වන්නේ නැහ.විශේෂයෙන්ම අපි සංගමයක් ලෙස පෞද්ගලික න්‍යාය පත්‍රයක් හෝ පෞද්ගලික මතිමතාන්තර ඉදිරිපත්කිරීම කරන්නේ නැහැ. නීතීඥ සංගමය තුළ අද වනවිට 19792 ක් සමාජිකයෝ ලෙස කටයුතු කරනවා.

මේ නීතිඥ සංගමය මෙහෙයවීම සඳහා  නීතීඥ සංගමයේ ශාඛා 83 ක් තිබෙනවා.  ඒඅතරික් 800 න් සමන්තිව විධායක මඩුල්ලක් තිබෙනවා. ඒවිධායක මඩුල්ල මාසිකව රුස්වෙනවා. ඒ හැරුණාම සභාපති ලේකම් ඇතුළු වෙනම විධායක සභාවක් තිබෙනවා. මේ සියල්ල එකතුවෙලා තමයි අපී තීන්දු තීරණ ගන්නේ.

ඒනිසා නීතිඥ සංගමයේ සභාපතිතුමා කිසිවෙකු සමග විවාදයට නොයා යුතුයි කියලා අපි සංගමක් විදිහට තීරණයක් ගත්තා යැයි ද අලි සබ්රි මහතා කීය.
 

ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක