දුවන කෝච්චියේ පෙට්ටියෙන් බයේ ගැහි ගැහි බිමට පැන්නා


”සිරිපාල” නම් චරිතය 70 දශකයේ ලාංකේය ජන සමාජයේ ඉතා දාමරික චරිතයක් ලෙස කිඳා බැස තිබුණු අතර ඔහුගේ ක‍්‍රියාදාමයන් එවකට ලංකාදීප පුවත්පතේ ප‍්‍රවීණ මාධ්‍යවේදියකු වූ ධර්මසිරි ගමගේ ශූරීන් විසින් එම පුවත්පතට අකුරු කළේය. එනිසාම ”සිරිපාල” වටා ගෙතුණු මේ ක‍්‍රියාදාමයන් සිනමා පටයකට ගෙන එන්නට ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලකයන් කල්පනා කළේය. ”සිරිපාල හා රන්මැණිකා” සිනමාපටය ලාංකේය සිනමාවට දායාද වන්නේ ඒ අයුරිනි. අපි එහි බොහෝ දේ ”සිරිපාලගේ” භූමිකාවට පණදුන් ප‍්‍රවීන රංගධරයකු වන රවීන්ද්‍ර රන්දෙණියගෙන් විමසා බලමු. ”සිරිපාල” කියන දාමරිකයා ගැන 70 දශකයේ අපේ ජන සමාජයේ බොහෝ දෙනෙකු කියැවූ චරිතයක්. ධර්මසිරි ගමගේ ශූරීන් ඔහු ගැන එවකට ලංකාදීප පුවත්පතේ ලිව්වා. අමරනාත් ජයතිලකයන් ඔහු ගැන කතා පුවත 1977 සිනමා පටයක් විදියට නිර්මාණය කරන්න කල්පනා කළාම ධර්මසිරි ගමගේ මහතා යාපනේ හන්දියට ගිහින් සිරිපාල ගැන සිරිපාලගේ පියාගේ මහලූ මඩම ඇතුළු බොහෝ දේ ගැන පර්යේෂණ කරමින් තිරපිටපත ලිව්වා. සිරිපාලගේ චරිතයට මමත්, රන්මැණිකාගේ චරිතයට මාලිනීත් තෝරාගත්තා. ජෝ අබේවික‍්‍රමත්, රොබින් ප‍්‍රනාන්දුත් පියදාස ගුණසේකර ඇතුළු තවත් කිහිපදෙනෙක් මීට දායක වුණා. මේක මගේ සිනමා ජීවිතයේ හතරවැනි චිත‍්‍රපටයයි. කැමරාව ඩොනල්ඞ් කරුණාරත්නයන් මෙහෙයුවා. ඔහුගේ සහායට සුමින්ද වීරසිංහ දායක වුණා. රූගත කිරීම් කෙරුණේ අනුරාධපුර පළාතේ. රූගත කිරීම් වල ඉතා අසීරුම ජවනිකා වුණේ පුත්තලම හා බංගදෙනිය දුම්රිය පොළවල් දෙක අතරේ දුම්රියේ කළ දර්ශනයි. ඇත්තටම අපට අමතකම නොවන දර්ශන පෙළ වුණේ එම දුම්රියේ රූගත කළ දර්ශන පෙළයි. ඒ දුම්රිය මාර්ගය පුත්තලම සිමෙන්ති කම්හලේ සිට සිමෙන්ති ප‍්‍රවාහනයට යොදාගත් දුම්රිය මාර්ගයයි. උදේ දුම්රියක් ගියාම ආයේ දුම්රියක් යන්නෙ හවස නිසා අපි ඒ මාර්ගය තෝරාගත්තා. අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඒ අයට මුදල් ගෙවලා දුම්රියට විශේෂ පෙට්ටි සවිකරලා රූගත කිරීම් කළේ. එක දර්ශනයක මමත් රොබිනුත් ගමන් කරන දුම්රියේ යට රෝද දෙක අතරේ උඩුබැලි අතට එල්ලිලා පෙට්ටිවලට නැගලා පස්සෙ පෙට්ටි වල වහල උඩට නැගලා වහලේ උඩින් බිමට පනින දර්ශනයක් තිබුණා. දුම්රිය යට කැමරා කරන්න ඩොනල්ඞ්ට දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදෙස් අරගෙන දුම්රියට පැත්තෙන් සවිකළ පුංචි වේදිකාවක් සැකසුවා. ඒ කැමරාව තියාගන්න. නමුත් දුම්රිය මාර්ගයේ පැත්තෙන් සම දුරින් තියෙන පුවරුවල දුර මැනලා ඒවයෙ නොවදින්නයි ඒ වේදිකාව සකස් කළේ. රූගත කිරීම් පටන්ගත්තා. මගෙත් රොබින්ගෙත් හිත්වල තිගැස්මක් තිබුණා. මමයි රොබිනුයි රෝද මැද්දෙන් එල්ලිලා පළමු දර්ශනය රූගත කරද්දී පලමු යාර 25-30 දුම්රිය ධාවනය වෙද්දි පැති පුවරුවක කැමරා තිබුණු වේදිකාව හැපිලා ඒක ගිනි පෙට්ටියක් වගේ කුඩුවුණා. ඩොනල්ඞ් පිට අතට පැනලා බේරුණා. ඊට පස්සෙ දවස් තුනක් ඇතුළත ඒ ඉතාම අවදානම් සහිත දර්ශනය රූගත කළා. කෝච්චි පෙට්ටියෙන් මමත් රොබිනුත් සජීවීවම බිමට පැන්නා. පුංචි සීරීමක්වත් වුණේ නැහැ. ආරක්ෂාවට කුෂන් මෙට්ට දැම්මෙත් නැහැ. දර්ශන තලයට අපි ඇත්ත රන්මැණිකා ගෙනාවා. ඇගේ උපදෙස් මාලනීට ලැබුණා. ඇය ඉතා හොඳින් ඒ චරිතය කළා. ඇගෙන් මට විශාල ශක්තියක් ලැබුණා. මේ චිත‍්‍රපටය මුල්ම ක‍්‍රියාදාම චිත‍්‍රපට වලින් එකක්. රොබින් හාරලක්ෂය වගේ චිත‍්‍රපටවල සටන් අධ්‍යක්ෂණය කරලා හොඳ අත්දැකීම් තිබුණා. ගස් ගල් උඩ දුවන, වතුරේ පනින ත‍්‍රාසජනක ජවනිකා වලට ඔහුගෙන් විශාල සහයක් ලැබුණා. ජෝගෙන්, පියදාස ගුණසේකරගෙනුත් විශාල සහයක් ලැබුණා. මාස තුනක් අපි රූගත කිරීම් කළා. ඩොනල්ඞ් හා අයි.එන්. හේවාවසම්ගෙන්ද හොඳ සහයක් ලැබුණා. තවත් අපූරු සිදුවීමක් ගැන කිව යුතුමයි. වැව් බැම්මක් දිගේ මම ට‍්‍රැක්ටරයක යන දර්ශනයක් තිබුණා. වැව් කණ්ඩිය දිගේ ට‍්‍රැක්ටරයක නැගී මම එද්දී වැවේ සිට වතුර ගන්න මාර්ගය හරහා බටයක් තිබුණා. ඒ උඩින් යද්දි එකවරම රෝද දෙකක් වැව් කණ්ඩියෙන් පිට බෑවුමට ගියා. රියැදුරා ඒත් ට‍්‍රැක්ටරය පදවාගෙන ගියා. රෝද දෙකක් පාරේ. රෝද දෙකක් බෑවුමේ. ටිකක් දුර යද්දී මේ ගමන ඉතාම අවදානම් බව මට දැනුණා. හිතට විශාල බයක් දැනුණත් මම ඒක දරාගෙන හිටියා. කොහොම හරි අන්තිම මොහොතේ රියැදුරා ට‍්‍රැක්ටරය වැව් කණ්ඩිය උඩට ගත්තා. වැව් කණ්ඩියෙන් පහළට වැටුණා නම් මමත් රියැදුරාත් විශාල අනතුරකට පත්වෙන්න ඉඩතිබුණා. ඒ යුගයේ ඉතා ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. සිරිපාල චරිතය මිනිසුන්ගේ ඔළුවල තිබුණා. සිරිපාල හිරේ සිට රන්මැණිකාට ලියූ කවි ඒ කාලේ පුවත්පත් වල ජනප‍්‍රිය ලිපි බවට පත්වුණා. ඒ නිසා මේ චිත‍්‍රපටයට හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබුණා. ඒ වගේම මාලනී වැනි නිලියක් එක්ක ඒ වන විට රඟපාද්දී මම ආධුනිකයි. ඒත් මාලනී එක්ක පසුකාලීනව වැඩිම චිත‍්‍රපට සංඛ්‍යාවක් රඟපෑවෙ මමයි. ඒ නිසා මා ආ මේ ගමන් මගට එදා සිට අදත් විශාල ශක්තියක් වූ බව ගෞරවයෙන් කිව යුතුයි.
සටහන - දුෂ්‍යන්ත කුමාර