දුර්ලභ කරපටි බස්සන් සිව්දෙනෙකු විසූ බකුසු ජනපද පරිසරය විනාශ කරලා


(ඩබ්ලිව්.ඒ. අසේල)
 
වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කොලඩ්ස්කෝප් අවුල් (Collared Scpos Owl) හෙවත් කරපටි බස්සන් හතරදෙනෙකු සිටි බකමූණූ ජනපදයක පරිසරය විනාශ කළ පුද්ගලයෙකුට අද(23) දහවල් වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැඩි අවවාද කර තිබේ.
 
නැවත මෙවැනි විනාශයක් සිදු කලහොත් නීත්‍යානුකූල දඩුවම් ලබා දීමට කටයුතු කරන බවටද ප්‍රකාශ කර ඇත.
 
අද උදෑසන (23) මෙම බකමූණන් ජීවත් වූ මහනුවර මාරස්සන ප්‍රදේශයේ ඇති අසංග චම්පික මහතාට අයත් ඉඩමට බලෙන් ඇතුලු වූ ඔහුගේ ඥාතියෙකු  තම කුඹුරට මෙම ගොම්මන් සහිත පරිසරයෙන් බාධාවක් වන බැව් පවසා ඉඩම් හිමියාගේ විරෝධයද නොතකා එම ගස් කොළන් කපා විනාශ කිරීමට පටන් ගෙන ඇත.
 
පසුව ඔහු විසින් ඒ පිළිබද කීර්ති බණ්ඩාරපුර පිහිටි වනජීවි කාර්යාලයට දැනුම්දීමෙන් පසු එහි නිලධාරින් පැමිණ මේ පිළිබඳව පරීක්ෂා කර ඇත.
 
2018  වර්ෂයේ අගෝස්තු මාසයේදී පමණ මෙම බකමූණු පවුල ඡායාරූප ශිල්පියෙකු වන අසංග චම්පික මහතා විසින් සොයාගෙන ඇති අතර ප්‍රවීණ වනජීවි ඡායාරූප ශිල්පියෙකු වන වෛද්‍ය චම්මික දිසානායක විසින් ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණයක්ද සිදුකරන ලදි. එහිදි ඔහු ප්‍රකාශ කළේ තනිව හෝ ජෝඩුවක් ලෙස ජීවත්වන මෙම බකමූණන් විශේෂය මේ ආකාරයට කණ්ඩායමක් ලෙස වාසයකිරීම ඉතා දුර්ලභ හා විශේෂිත සිදුවීමක් බවයි.