දුමින්දට ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි


ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු නියෝජ්‍ය ඇමැති භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සිංගප්පූරුවේ එලිසැබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් ඔහු තවත් සැත්කමකට යොමු කැරෙන නිසා උසාවියට ඉදිරිපත් කිරීමට සුදුසු තත්ත්වයක නැති බවත් ඔහුගේ පියා දුන් කටඋත්තරයේ සඳහන් වෙතියි රහස් පොලිසිය කොළඹ වැඩ බලන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතාට අද දැනුම් දුන්නේය. පරීක්‍ෂණ පවත්වන රහස් පොලිසිය දුමින්දගේ පැත්තේ බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඔවුනට  ඕනෑකමක් නැති බවත් පැවැසූ ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා ඉල්ලා සිටියේ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පෝල් වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. වලලියද්ද මහතා පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. දුමින්ද තවමත් සැකකරුවකු බව කී මහේස්ත‍්‍රාත්වරයා ඔහු අතෘප්තියට පත් පාර්ශව කරුවකු සේ සලකා ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට පෙනී සිටිය හැකි බව කීවේය. සැකකරුවකු සේ සලකා වර්ණකුලසූරිය මහතාට ඔහුගේ කැමැත්ත නැතිව පෙනී සිටිය නොහැකි බව මහේස්ත‍්‍රාත් කලින් නියෝග කළේය. රහස් පොලිසිය ඉල්ලා සිටියොත් වරෙන්තු නිකුත් කළ හැකි බවට මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය. සැකකරුවන් 18 දෙනා යළි ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.