( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පල්ලෙකැලේ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටි සිය සැමියා වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ගේ බිරිය විසින්ගොනු කර තිබූ හබයාස්කෝපුස් පෙත්සම අභියාචනාධිකරණයේදී අද ( 19) ඉල්ලා අස් කර ගන්නා ලදී.
අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා හමුවේ මෙම පෙත්සම කැඳවා තිබේ.
එහිදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සඳහන් කර ඇත්තේ දුමින්ද නාගමුව මහතා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදාහැර ඇති බව ය.
එබැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බැවින් එය ඉල්ලා අස් කර ගැනීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.
අභියාචනාධිකරණ විනිසුරුවරයා ඊට අවසර ලබා දුන්නේය.
දුමින්ද නාගමුව මහතාගේ බිරිඳ වන එන්. දුලානි ප්‍රියංගිකා මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත්කර තිබුණි.
පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි, පල්ලෙකැලේ සමූපකර අධ්‍යයන ආයතනයේ පිහිටි නිරෝධාන මධ්‍යස්ථානය භාර ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
ඉකුත් 07 වනදා කොළඹ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල පැවැති උද්ඝෝෂණයකට සහභාගිවෙමින් සිටියදී කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවටගත් තම සැමියා පසුව අධිකරණය හමුවට ඉදිරිපත්කර ඇප මත මුදා හැරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථානයක ට යොමු කිරීමට පොලීසිය විසින් කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කල බවද පෙත්සම්කාරිය සදහන් කර ඇත.
ඇප ලබා පිටව යන අවස්ථාවේදී මග අවහිර කල පොලිස් නිලධාරීන් තම සැමියා බලහත්කාරී ආකාරයෙන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකළ බව කියන පෙත්සම්කාරිය ඔහු මේ වනවිට පල්ලේකැලේ සමුපකාර අධ්‍යයන ආයතනයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින බවට පෙත්සම්කාරිය සිය පෙත්සමේ සදහන් කලාය.
ඒ අනුව නීතිවිරෝධී ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රඳවාගෙන සිටින තම සැමියා වහා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු නිදහස්කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

