දුමින්ද දේශපාලනයේ ඇත්ත වමාරයි


(දයාරත්න ඇඹෝගම)
 
පාර්ලිමේන්තුවේ එහා පැත්ත-මෙහා පැත්ත බැණ ගන්නවා. හැබැයි මෙන්න බොලේ කැන්ටිමට ගියහම දෙන්නා එකට කනවා. ඒ වගේම මේ පැත්තෙන් බැනලා එළියට ඇවිත් කියනවා "මචං බැන්නට ගණන් ගන්න එපා කියලා" හැබැයි ගමේ කෙනා අත-පය කඩාගෙන, කොඩිවැල කඩාගෙන.ඥාතිකම නැති කර ගෙන මිත්‍රත්වය නැති කර ගෙන ගමේකම නැතිකරගෙන හැමදේම නැතිකරගෙන දේශපානය නිසා බෙදිලා කඳවුරු ගතවි සිටින බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
 
ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර කලා වැව මැතිවරණ කොට්ඨාසයේ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත දින ඉඩම් ඔප්පු හා බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
 
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යය ගයන්ත කරුණාතිලක, වාරි මාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක , කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්  රාජාංගනය මහසෙන් මහා විද්‍යාලීය ප්‍රදාන ශාලාවේදී ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර කඩිනමින් ලබාදීමේ වැඩසටහන පැවැත්විණි.


අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම උත්සව සභාව අමතමින් මෙසේද පැවසිය. 


පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු ඇමැතිවරු අපි සියලු දෙනා බොහෝම සමාදානයෙන් එකම මේසයේ වාඩි වෙලා කාලා බිලා  ඒ ගොල්ල ආණ්ඩු කරද්දී අපේ වැඩ ටික අපි කරගන්නවා. අපි ආණ්ඩු කරද්දී ඒ ගොල්ලන්ගේ වැඩ ටික ඒ ගොල්ල කර ගන්නවා. 


හැබැයි තාමත්  අපේ ඔලුව තියෙන්නේ  77-78 කාලයේ. ඉතිහාසයේ ගුටි කාපු එක, පලි ගත්ත එක, වෛර කරපු එකත් එක්ක තමයි තාමත් දේශපාලනය නැවතිලා තියෙන්නේ. හැබැයි අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ පක්ෂ පාට බලන්නේ නැතිව මැතිවරණයකදී අපි අපේ ප්‍රතිපත්තීන් එක්ක හැප්පෙනවා, ප්‍රතිපත්තියත් එක්ක අපි සටන් කරමින් ඡන්දයට යනවා.


හැබැයි ජාතික ආණ්ඩුවේ අපේ බලාපොරොත්තුව ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න ටික විසඳීමයි.


සාමාන්‍යයෙන් ආණ්ඩුවෙන් වැඩක් කරන කොට විපක්ෂයේ ඉන්න අය කියනවා අපි ඔයිට වඩා දෙයක් දෙන්න සූදානම් කියලා. එහෙම වුණාම රටේ දැවෙන ප්‍රශ්න වලට අපිට විසඳුම් දෙන්න බැරිවෙනවා, රටේ දැවෙන ප්‍රශ්න මේ දේශපාලනයේ තියෙන කඳවුරුත් එක්ක ආපස්සට ගියා.හැබැයි මේ ජාතික ආණ්ඩුව හැදීමේ ප්‍රධාන අරමුණ තමයි මේ රටේ දැවෙන ප්‍රශ්න වලට සාධාරණ විසදුම් ලබා දීම.

මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් දෙන්නම එකට එකතු වෙලා.ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා මේ රට අපි ගෙනියන්න යන්නේ මෙන්න මේ තැනට.

ඒ ගමනේ කොටස්කාරයෝ පංගුකාරයෝ වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.කැමති පක්ෂයක සාමාජිකත්වය ගන්න. කැමති පක්ෂයකට කතිරය ගහන්න. හැබැයි රට යායුතු තැනේදී පක්ෂ පාට භේදයකින් තොරව හැමෝම එකට අත්වැල් බැඳගත්තොත් අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී වෙනවා යැයි පැවසීය.