දුම්රියත් තැපෑලත් රජයෙන් ගලවන්න යෝජනා


(විනීතා එම් ගමගේ)

දුම්රිය දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව, පාලක මණ්ඩල මගින් පාලනය වන ආයතන බවට පත් කළ යුතු යැයි රාජ්‍ය ආයතනවල වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය කමිටුවට සහයවීම සඳහා පත්කළ නිලධාරි කමිටුව යෝජනා කර ඇත. 

එම නිලධාරි අනු කමිටුව විසින් අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට සකස් කළ වාර්තාවේ මේ  බව සඳහන් වේ. 

මෙම දෙපාර්තමේන්තු ව්‍යුහාත්මක ප‍්‍රතිසංවිධානයකට භාජනය නොකොට විසඳුම් සෙවීම අසීරු බවත් පාලක මණ්ඩලයක් මඟින් පාලනය වන ආයතනයන් බවට පත්කර අදාළ තනතුරු වැටුප් පරිමාණයන් හා සේවක සංඛ්‍යාව නිශ්චය කිරීම එකී ආයතනවල පාලක මණ්ඩලය මඟින් සිදුකරනු ලැබිය.

දැනට එකී දෙපාර්තමේන්තු සතු සියලූ වත්කම් විධිමත්ව අදාළ සේවාවන් වෙත පැවරිය යුතු අතර ඒවා නිසි පරිදි ආයෝජනය කර ආදායම් උපදවා ගැනීම එකී සේවාවන් මගින් සිදුකළ යුතු බවත් එහි සඳහන් වේ.

දුම්රිය සේවාව හා තැපැල් සේවාව වෙනුවෙන් ආරම්භ වන නව ආයතනවල දැනට සිටින සේවකයන්ගේ  විශ‍්‍රාම වැටුප් අයිතිය තහවුරු කරමින් අලූතින් බඳවා ගන්නා සේවකයින්  දායක වැටුප් ක‍්‍රමය හෝ සේවක අර්ථසාධක අරමුදල යන දෙකින් සුදුසු ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද එහි සඳහන්ව ඇත. 

සේවා මෙහෙයුම් ආදායම් මාර්ග තුළින් ස්ථාවර තත්ත්වයකට පත්වන තුරු නිශ්චිත කාලයක් සඳහා භාණ්ඩාගාරය මඟින් නියමිත ප‍්‍රතිපාදන ලබාදිය යුතු බවට ද එම කමිටුව නිර්දේශ කර ඇත. 

මෙම සේවා ගාස්තු  තීරණය කිරීම පාලක මණ්ඩලය විසින් තීරණය කළ යුතු බව ද එහි සඳහන් වේ.