දුම්රිය ස්ථානාධිපතිවරු මැදියම් රෑ සිට රාජකාරි අතහරින්න යති


(නිමල කොඩිතුවක්කු)

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද(10) මධ්‍යම රාත්‍රියේ සිට අධීක්ෂණ සහ ආවරණ රාජකාරීවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති  ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව  දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

කණිෂ්ඨ කාර්යය මණ්ඩල හිඟයට පිළියම් ලබා දීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසෙකර මහතා පැවසීය.

තම ඉල්ලීම් වලට විසදුම් ලබාදෙන තෙක් අඛණ්ඩව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගම් ශාලාවේදී අද(10) කැඳවූ මාධ්‍ය හමුවකදී  ජයසේකර මහතා  පැවසීය.

දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සහ දුම්රිය ස්ථානවල ගැටලු නිරාකරණය කිරීමට බලධාරීන් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවන බවද ජයසේකර මහතා සඳහන් කළේය.

කණිෂ්ඨ කාර්යය මණ්ඩල හිඟයට පිළියම් ලබා දීම, කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කණිෂ්ඨ කාර්ය මණ්ඩල විශ්‍රාමික නිලධාරීන්ට වැටුප් ගෙවීම, නව සෞඛ්‍ය ආරක්ෂිත කඩිනම් ප්‍රවේශපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වා දීම, උසස් කිරීමේ ක්‍රමවේද සහ  බදවාගැනීමේ පටිපාටිය සකස් කිරීම කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙම ඉල්ලීම් අතර වන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් හා අවලංගුවීම් සිදුවිය හැකි බවත් එහි වගකීම දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුලු බලධාරීන් විසින් බාරගත යුතු බවත් ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.