දුම්රිය දෙකක් ගැටී 32 කට තුවාල - දුම්රිය ගමනා ගමනයට බාධා


(පුෂ්පකුමාර ජයරත්න)

පොල්ගහවෙල සහ රඹුක්කන අතර පිහිටි පනලිය දුම්රිය ස්ථානය අසන්නයේදී අද (06) පස්වරු 6.30ට පමණ එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක් ගැටීමෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් 32කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

කොළඹ සිට සවස 4.35ට මහනුවර බලා ධාවය වූ සීඝ්‍රගාමී දුම්රියක් සහ ඊට පසුපසින් පැමිණි රඹුක්කන බලා ධාවනව වූ කාර්යාල දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

පනලිය දුම්රිය ස්ථානයට ආසන්නව මහනුවර බලා ධාවය කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව නැවැතී තිබියදී එම දුම්රිය යතා තත්ත්වයට පත්කර ධාවනය කරවන තෙක් මහනුවර බලා ධාවනය වූ දුම්රිය නවතා තිබියදී ඊට පසුපසින් පැමිණි දුම්රිය එහි ගැටී අනතුර සිදුවී ඇති බව පොල්ගහවෙල පොලිසිය කියයි.

අනතුර හේතුවෙන් මහනුවර බලා ධාවනය වූ දුම්රියේ පිටුපස දුම්රිය නියාමක මැදිරිය දෙකට කැඩී හානීයට ලක්ව තිබූ අතර ඊට පසුපසින් පැමිණි කාර්යාල දුම්රියේ මැදිරි දෙකකටද හානී සිදුවී එම මැදිරි පීලි පැන ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක ඇති අතර අනතුරින් තුවාල ලැබූ 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා පොල්ගහවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් පසු වූ 5 දෙනකු කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය කියයි.

කොළඹ කොටුවෙන් රාත්‍රී 8 ට බදුල්ල බලා පිටත් වීමට තිබූ තැපැල් දුම්රියද මේ හේතුවෙන් තාවකාලිකව නවතා ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

ඡායාරූප - නේරංජලා අතපත්තු  

අනතුරින් තුවාල ලැබූ රෝගීන්