බිඟුන් මේනක ගමගේ
කොළඹ ඉදිකරමින් පවතින දුම්රිය කෞතුකාගාරය දුම්රිය දෙපාර්තමේන්තුවට පවරාගන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ප්රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමුකර ඇත.
මෙම ඉදිකිරීම කරනු ලැබුවත් එය නීතිවිරෝධී යැයි ද එනිසා එම ඉදිකිරීම් නතර කරන්නැයි ද සංගමය ඉල්ලා ඇත.
1902 අංක 9 දරණ දුම්රිය ආඥා පනතට අනුව දුම්රිය සේවයට අනුබද්ධිතව දුම්රිය සේවය තුළ කවරාකාරයක සමාගමක් වුවද, ලියාපදිංචි කිරීමට හෝ පවත්වාගෙන යාමට හෝ නෛතික ප්රතිපාදන නැතැයි පවසන සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය මෙවැනි සමාගමක් පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු පනතක් හෝ නීතිපතිගේ අවසරයක් හෝ නොමැති යැයි ද ලිපියෙහි සඳහන් කර ඇත.
ඒ අනුව මේ වනවිට කොළඹ ටෙක්නිකල් හංදියේ දුම්රිය මූලස්ථානය ආසන්නයේ පිහිටි භූමිය අත්පත් කරගැනීම නීති විරෝධී යැයි ද මේ සම්බන්ධයෙන් දුම්රිය බලධාරින් කිසිදු සොයා බැලීමක් නොකරන අතර වෘත්තීය සමිති නායකයන් කීප දෙනනෙකු ද මීට සම්බන්ධ යැයි එම සංගමය චෝදනා කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් හා ගොඩනැගිලි ද මහජන බැංකුවේ මුදල් හා නාවික හමුදාවේ භටයන් යොදාගෙන දේශපාලන බලය පාවිච්චි කරමින් පෞද්ගලික ධනය සත පහක් හෝ වැය නොකර මෙම කෞතුකාගාරය ඉදිකරන්නේ කෙසේ දැයි ප්රශ්න කරන්නේ යැයි ද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ.