දුම්රිය අර්ධ රාජ්‍ය කළොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක


බිඟුන් මේනක ගමගේ 

වෘත්තීය සමිති විරෝධය නොතකා ආණ්ඩුව දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ යැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දුම්රිය ස්ථානධිපති, දුම්රිය රියදුරු, දුම්රිය නියාමක, අධික්ෂණ කළමණාකරුවන් සහ දුම්රිය පාලකවරුන් සඳහා එම්.පී1 හා එම්.පී2 වැටුප්තල වලට සමාන වැටුප්තල ලබාදීමට හැකිදැයි සොයා බැලීමට පත්කළ සරත් අමුණුගම කැබිනට් අනුකමිටුව සහ ඊට සහාය දැක්වීම සඳහා පත්කළ පරිපාලන කමිටුව සහ වැටුප් කොමිෂන් සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇතැයි ඔවුහු චෝදනා කරති. 

මෙම කමිටුව පත් කළේ වැටුප් වැඩිකිරීමක් කළ හැකිදැයි සොයා බැලීමට වුවත් ඔවුන් දැන් කරමින් සිටින්නේ වෙනත් රාජකාරියක් යැයි චෝදනා කරන එම සංගමය මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල අදහස් විමසීමට පසුගිය 11 වැනිදා විෂය භාර ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී වෘත්තිය සමිති ඊට දැඩිව විරෝධය පළ කළේ යැයි ද කියයි.

දුම්රිය දෙපාර්තමේන්තුව, පාලක මණ්ඩලයක් මගින් පාලනය වන අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කළ යුතු යයි යෝජනා කර ඇති කැබිනට් පත්‍රිකාවල, සාකච්ජා සටහන් වල සහ අනිකුත් ලිපිලේඛන වල සඳහන් වන්නේ වැටුප් වැඩිකිරීම නමැති මාතෘකාව යැයි ද මෙමගින් සියලු දුම්රිය සේවකයන් දුම්රිය දෙපාර්තමේන්තුව විකිණීමේ ක්‍රියාවලියේ වගඋත්තරකරුවන් කර ඇතැයි ද ඔවුහු පවසති. 

ඇතැම් දුම්රිය බලධාරීන් සම්බන්ධයෙන් එල්ලවී ඇති වංචා දූෂණ චෝදනා බැහැර කළ නොහැකි නමුත් දුම්රිය සේවය විනාශ කර ඇත්තේ මෙම බලධාරීන් හා දේශපාලන නායකයින් එක්ව යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.