(විනීතා එම් ගමගේ)
දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති කමිටු නිර්දේශ ඉදිරි දෙසතිය ඇතුළත ඉවත් කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් ආණ්ඩුවටත් පාලකමණ්ඩල යෝජනාවටත් එරෙහිව දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
අධිකාරියක් බවට දුම්රිය සේවාව පත් කිරීමේ යෝජනාව වෙනුවට එම සේවාව නගා සිටුවීමට සැබෑ වැඩපිළිවෙළක් ගෙන එන්නේ නම් වෘත්තිය සමිතිවල පූර්ණ සහය දෙන බව ද එම සන්ධානය කියයි.
දුම්රිය සේවාව පිළිබඳ මෙවැනි යෝජනාවක් 2003 වසරේ ගෙන ආ බවත් එහි ප‍්‍රතිඵලය වූයේ එවකට පැවැති රජයට ගෙදර යාමට සිදුවීම බවත් මරදාන දුම්රිය සේවක සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ මහතා ප‍්‍රකාශ කළේය.
සරත් අමුණුගම අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවකින් මෙසේ දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත් කරන යෝජනාව ගෙනැවිත් ඇතැයි ද එම කමිටුව පත් කරන ලද්දේ දුම්රිය වෘත්තිය සමිති ඉල්ලීමක් වන වැටුප් තල කිහිපයක් ලබාදිය හැකිද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා වුවත් ඔවුන් කර ඇත්තේ භාර දුන් කටයුත්ත නොවන බව ද විතානගේ මහතා කීය.
අදාල නැති කටයුත්තක් කළ එම කමිටුවේ වාර්තාව හෝ නිර්දේශ නීත්‍යානුකූල නොවන බව පෙන්වා දුන් විතානගේ මහතා එබැවින් කිසිසේත්ම නීත්‍යානුකූල නොවන නිර්දේශයක් ආණ්ඩුව කි‍්‍රයාත්මක කළ යුතු නැතැයි ද පැවැසීය.