දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතී


(මහින්ද නිශ්ශංක)

ඉල්ලීම් තුනක් මුල්කරගෙන දුම්රිය ශ්‍රේණි ගණනාවක සේවකයන් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි දින හතක වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය තාක්‍ෂණ සේවා වෘත්තීය සමිති කමිටුවේ ලේකම් ඩබ්ලිව්.බී.එස්. කමල් පීරිස් මහතා පැවසීය.

සේවක වැටුප් වැඩිවීම, දිරිදීමනාව හා පැය 40 සේවා සතිය ස්ථාපිත කිරීම යන ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 

ලේකම් ජී.එස්. විතානගේ මහතා ලිඛිත පොරොන්දුවක් දීම නිසා ඉකුත් 8 වැනිදා රැස්වූ කමිටුවේ විධායක සභාව වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළඹි බව ද කමිටු ලේකම්වරයා කීය.

දුම්රිය ශ්‍රේණීන් කීපයකට ලබාදුන් සියයට 12.1ක වැටුප් වැඩිවීම සියලුම විධායක නොවන දුම්රිය සේවකයන්ට ලබාදීමේ ක්‍රමවේදය සකස් කිරීම සඳහා තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව මගින් යෝජනා ක්‍රම දෙකක් ප්‍රවාහන අමාත්‍යාංශයට හා දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතාට හෙට (13) බාර දෙන බව ද ඔහු සඳහන් කළේය.

දුම්රිය සේවක තුන්වැනි පන්තියේ සිට දෙවැනි පන්තියටත් දෙවැනි පන්තියේ සිට පළමු පන්තියටත් වැටුප් පරිවර්තනය කිරීම සහ පළමු පන්තිය සඳහා අලුත් වැටුප් පරිමාවක් සකස් කිරීම සඳහා කමිටුව යෝජනාවක් ඉදිරිපත් කරන බවත් මෙම යෝජනා දෙකෙන් එකකට හෝ පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් නැවත වර්ජනයට එළඹෙන බවත් ඔහු පැවසීය.