දුටුගැමුණු රජුගේ විජිතපුර බලකොටුවත් ඩෝසර් කරලා



(කුෂාන් ජයවර්ධන)    

                                    

           
විජිතපුරයට අයත් එළාර රජුගේ බලකොටුවේ පිහිටි බැලූම්ගල නම්වූ පුරා විද්‍යා ස්ථානය ඩොසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ නිමවන්නටත් පෙර විජිතපුර ප‍්‍රදේශයේම පිහිටි දුටුගැමුණු රජුගේ බල කොටුවට අයත් බවට සැළකෙන පුරාවිද්‍යා ස්ථානයක්ද බැකෝ යන්ත‍්‍රයක් යොදා ඉකුත් දා ඩෝසර් කර එළි පෙහෙළි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබේ.


එම අනවසර හෙළි කිරීම සිදුවන අවස්ථාවේ ඒ ගැන සොයා බැලීමට එහි ගිය අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතාට  එම ස්ථානයේ සිටි චීවරධාරියකු විසින් පහරදීමක්ද සිදුකර තිබිණි. එම පහරදීම සම්බන්ධයෙන් නලින් මහතා ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර තිබේ. 

 

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ  අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා මෙසේ පැවසීය.


ඉකුත් 27 වැනි දා දුටුගැමුණු ආරණ්‍ය සේනාසනයේ පිහිටි පුරාවිද්‍යා භූමියේ ඩෝසර් යන්ත‍්‍රයක් ක‍්‍රියාකරවන හඬ මට ඇසුනා මගේ නිවස තියෙන්නේ එම භූමියට යාබදවයි. එතැන වෙන්නේ මොකක්ද කියලා බලන්න මම එතැනට ගියා. මම ග‍්‍රාම නිලධාරීවරයාත් දැනුම්වත් කරලයි එතැනට ගියේ. ඒ යනකොට චීවරධාරියෙක් සහ තවත් අයෙක් බැකෝ යන්ත‍්‍රක් ගෙනල්ලා පුරාවිද්‍යා භූමිය සහිත කැලෑව ඩෝසර් කරමින් තිබුණා. 


මම ඇහැව්වා ඇයි මෙතැන ඩෝසර් කරන්නේ කියලා එතැන හිටපු චීවරධාරියකු කිව්වා ආරණ්‍යයට යන්න පාරක් කපනවා කියලා. ආරණ්‍යයට යන්න පාරවල් තියෙනවා. ඒ නිසා මට මේ සිද්ධිය ගැන සැක හිතුනා. ඒ නිසා මම චීවරධාරියාගෙන් ඇහැව්වා මෙතැන එළිකරන්නේ නීත්‍යාණුකූල අවසරයන් අරගෙනද කියලා. මොකද මෙතැන පුරාවිද්‍යා භූමියක් නිසා. ඒ වෙලාවේ ඒ චීවරධාරියා උඹ කවුද ඒවා හොයන්න කියලා මට පහර දුන්නා. අදාල දර්ශන මා පටිගත කර තිබෙනවා.

 
මෙතැන පුරාවිද්‍යා වටිනාකම් තියෙන තැනක් මෑත කාලීනවත් විවිධ කැණීම් කරලා තියෙනවා.  බාහිර පුද්ගලයින් තමා මෙතැන වැඩිපුර ගැවසෙන්නේ. පිටපළාත් වලින් නන්නාදුරන සැක කටයුතු පිරිස් සුඛෝපභෝගී වාහන වලින් මෙතැනට එනවා යනවා. මෙතැන ඓතිහාසික වැදගත්කමක් තියෙන පුරාවිද්‍යාත්මක භූමියක් මේ ස්ථානය මතු පරපුර වෙනුවෙන් බේරා ගන්න එක කාගේත් යුතු කමක්. 


පුරාවිද්‍යා වැදගත්කමක් තියෙන මෙම ස්ථානයේ ගල් තලා ආශ‍්‍රිතව විවිධ කැණීම් කරලා තියෙනවා. මෙහි තිබූ ඉපැරණී පිළීම පවා දැන් නැහැ. චීවරධාරියා මට කළ පහරදීම ගැන මම ඉපලෝගම පොලිසියට පැමිණීලි කර තිබෙනවා. මෙහෙම ගියොත් විජිතපුරයේ එළාර බලකොටුවයි දුටුගැමුණු බල කොටුවයි දෙකම ජාතියට නැති වෙනවා. මේ ස්ථානය ගැන බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුයි.


කෙසේ වෙතත් ඓතිහාසික වටිනාකමක් ඇති එම කඳුවැටිය ආශ‍්‍රිතව අලූතින් සිදුකරන ලද කැණීම් රැසක් ද නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට නතුවී ඇති ස්ථාන රැසක් ද දැක ගැනීමට හැකි වේ. තවද පුරා විද්‍යාත්මක ස්ථාන ආශ‍්‍රිතව කොන්ක‍්‍රීට් යොදා සිදුකර ඇති මෑතකාලීන ඉදිකිරීම් කිහිපයක්ද එම භූමිය තුළ දැකිය හැකිය. 

 

තමන්ට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණීලි කිරීමට කටයුතු කර තිබිණි.  


දුටුගැමුණු බලකොටුවේ සිදුව ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් අද (4) ඉපලෝගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතන කිහිපයක් එක්ව ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.

විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා

 

විඩියෝ දර්ශන