(නාලක සංජීව දහනායක)
වත්මන් රජය යටතේ පළිගැනීමට ලක්වූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ මඟින් සිදුකර ඇති වංචා හා දූෂණ, නීතිවිරෝධී ක‍්‍රියා හා දේශපාලන පළිගැනීම් පිළිබඳව මහජනතාවට පැමිණිලි කිරීමට ආරම්භ කෙරෙන දුක්ගන්නාරාළගේ කාර්යාලය සඳුදා (3) වැනිදා කොළඹ -07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී විවෘත කිරීමට නියමිතය.
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම දුක්ගන්නාරාළගේ කාර්යාලය ආරම්භ කරන අතර විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම කාර්යාලය ක‍්‍රියාත්මක වේ.
ඒ අනුව සතියේ සෑම දිනකදීම පෙරවරු 9.00 සිට පස්වරු 12.00 දක්වා මෙම කාර්යාලය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී.
තමන්ට සිදුව ඇති ඕනෑම අසාධාරණයක්, වංචා හා දූෂණ හෝ මූල්‍ය අක‍්‍රමිකතාවයන් ඇතුළු සියලුම අකටයුතුකම් පිළිබඳව මෙම කාර්යාලයට පැමිණිලි කරන මෙන් විපක්‍ෂනායකවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

