දුක පවු කළවුන් වෙත පැමිණෙයි.
01. කුසල් අකුසල් නමැති දෙ දහම්
සිතිනි ඉපැදේ සිත පෙරටු වේ
දුසිතෙකින් කීවහොත් කෙරුවොත්
විපා දුක ලුහුබඳී පසුපස
රිය සකක් ලෙස ගොනුන් ලුහුබැඳි
( සක්පල් තෙරුන් වෙනුවෙනි )
ගී පබැඳුම - තිලක් නවරත්න
01. යමක වග්ගෝ
01. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන භාසතී වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති චක්කංව වහතෝ පදං
01.නිදාන කතාව
දුක පවු කළවුන් වෙත පැමිණෙන සැටි
නම පාලිත. පාලිත දනවතෙක්. දඹදිව සැවැත් නගරයේ නම්බුකාර පවුලක උපන් පාලිත විවහකයෙක්. (කෙළෙඹියෙක්) නිතර නිතර බුදුන් වඳින්නට දෙවුරම් වෙහෙරට යන-එන සැදැහැවතුන් දැක පැහැදී පාලිත ද ඔවුන් හා දෙවුරම් වෙහෙරට ආවා.සිරි සදහම් අසා පැහැදුණා. තම සෝවුරාට සිය ජාති දේපල පවරා දී නිවුණු සිතින් පැවිදි වුණා.
වයස් ගත ව පැවිදි වූ නිසා ගත් දුර නො වඩා විදසුන් දුර වඩා නිවන් ලබන්නට යොමු වුණා. නො නිදා ම බාවනා කළා. අප්පමාද ව විවසුන් වැඩුවා. විඩා පත් ඇස් රෝගී වුණා. ඇසට වෙදකම් ගැනීමෙහි ද, වෙදුන් ගේ උවදෙස් පිළිපැදීමෙහි ද,වුවමනාවක් කෙළේ නෑ. නො පමා විදසුන් වැඩුවා. රහත් පල ලැබුවා. රහත් පලයත් ඇස් අඳ වීමත් එක වර ම වුණා. නමින් චක්කුපාල බවට පත් වුණා.
චක්කුපාල රහතන් වහන්සේ පෙර බවයෙක සමත් වෙදැදුරකුව සිටියා.ඒ වෙදුන් ගෙන් නෙත් ලෙඩ ගැහැනියක් වෙදකම් ගත්තා. ඇය සුව ලැබුවා. වෙදුනට ගෙවීමෙහි ලොබ හෙයින් ඇස් සුව වූ බව හැඟැවූයේ නෑ. කළ රැවැටිල්ල වෙදැදුරුට වැටැහුණා.වැඩි සුවයට දෙන ඔසුවක් සේ සවිස බෙහෙත් දුන්නේ කිළිටි සිතිනුයි. සුවපත් නෙත් යළි අඳ වුණා.
ඒ කළ අකුසලය තම අන්තිම අත් බවයේ දීත් පළ දුන්නා. රහත් වී සියලු දුක් නිම කළා. ඒත් ඇස් අන්ද වුණා. එ කල වෙදැදුරන් තමයි චක්කුපාල හිමියෝ. විපාකය පසුපසින් ලුහුබඳින සැටි සිරි මුවින් වදාළා.