දිස්ත්‍රික්ක තුනක ග්‍රාමසේවා වසම් 5 ක් හුදෙකලා කරයි


(යොහාන් භාසුර)

කොළඹ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ ග්‍රාම නිලධාරී වසම් පහක් ‘කොවිඩ් 19’ අවදානම ඉහළ යෑම නිසා අද (27) පෙරවරු 6.00 සිට හුදකලා කළේ යැයි ‘කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම පොලිස් බල ප්‍රදේශයේ තලාහේන දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජය මාවත සහ ජයගත් මාවත ද, තලාහේන උතුර ග්‍රාම නිලධාරී වසමේ ජයගත් මාවත, සත්සර මාවත, ඉසුරු මාවත, සමනල මාවත සහ තැපැල් පෙට්ටිය හංදිය යන ප්‍රදේශ හුදකලා කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ කහන්ගම කොස්ගල වත්ත ග්‍රාම නිලධාරී වසම සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ බෝපැත්ත ග්‍රාම නිලධාරී වසම හුදකලා තත්වයට පත්කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයේ කැටබුලාව මධ්‍ය කොටස ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කර තිබේ.