( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුදුරු ජල පහරට කොටුවී සිටි අහිංසක ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමකදී වික‍්‍රමාන්විත අන්දමින් ජීවිතය පූජා කළ මාදම්පේ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් 88587 ඩිලාන් සම්පත් මහතාගේ ගිරිඋල්ල මල්ගමුව නිවසට ගිය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සැරයන්වරයාගේ දේහයට අවසන් ගෞරවය පුද කළේය.
ගල්මුරුව උඩවෙල ප‍්‍රදේශයේ ජල ගැල්මෙන් අවතැන්ව සිටි ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටියදී සැඩ පහරකට ගොදුරුව මියගිය පොලිස් කොස්තාපල් 88587 ඩිලාන් සම්පත් මහතා පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇත.
සැරයන්වරයාගේ දේහයට මල් කළඹක් තබා අනතුරුව සිය ආචාරය පුද කළ පොලිස්පතිවරයා විසින් දිවිපිදු සැරයන්වරයාගේ පියා වන ඩී.පී.ෂෙල්ටන් 60 මහතා සහ කේ.එච්.සෝමවතී 55 මහත්මිය වෙත ශී‍්‍ර ලංකා පොලිසියේ ශෝකය පුද කරනු ලැබීය.
ඩිලාන් සම්පත් ශී‍්‍ර ලංකා පොලිසියට බිහිවූ සුවිශේෂී නිලධාරියෙකු වශයෙන් හැදින්විය හැකි බවත් මේ ආකාරයෙන් තම ජීවිත පරදුවට තබා අන් අයගේ ජීවිත බේරා ගැනීමට ඉදිරිපත්වීම සෑම අයකුටම කළ නොහැකි කටයුත්තක් වන බැවින් සැරයන්වරයාගේ ජීවිත පූජාව පොලිසියේ ගෞරවයට හේතුවන බවත් පොලිස්පතිවරයා මෙහිදී සදහන් කළේය.
ශී‍්‍ර ලංකා පොලිසියේ නාමය බබලවන්නට කටයුතු කර පුතු අහිමිවීම දෙමාපියන්ට දැරිය නොහැකි කරුණක් බව සිහිපත් කළ පොලිස්පති ජයසුන්දර මහතා සැරයන්වරයා වෙනුවෙන් කළ හැකි සියල්ල කරන බවද දැන්වීය.
පොලිස් සේවා වනිතා ඒකකය මගින් සැරයන්වරයාගේ අවමගුල් වියදම් සදහා ලබාදුන් චෙක්පත පොලිස්පතිවරයා විසින් මේ අවස්ථාවේදී මවට හා පියාට බාරදෙනු ලැබීය.