සේවක අර්ථසාධක අරමුදල් ලබා නොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් දිවි නැඟුම ඒකාබද්ධ වෘත්තකයින්ගේ සංගමය ගොනු කළ පෙත්සම ලබන ජූලි 23 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) තීරණය කළේය.
එම පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි කම්කරු කොමසාරිස් ජනරාල්, නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා, නීතිපතිවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයාට අද නියම කරන ලදී.
ඊවා වනසුන්දර , බුවනෙක අළුවිහාරේ සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවිණි. දිවිනැඟුම ඒකාබද්ධ වෘත්තකයින්ගේ සංගමය ගොනු කළ පෙත්සමේ සඳහන් වූයේ තමන් සමෘද්ධි අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය , දකුණු සංවර්ධන අධිකාරිය යන ආයතන වල සේවය කළ බවත් , දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කර සිටියදී දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සේවය කිරීමට පටන් ගැනීමේදී තමන්ට විශ‍්‍රාම වැටුප් හිමිකම ලැබුණු බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.ඊට පෙර තමන් සමෘද්ධි අධිකාරිය යටතේ සේවය කරද්දී හිමිවු සේවක අර්ථසාධක අරමුදල් මහා භාණ්ඩාගාරයට පවරා දෙන ලෙස කම්කරු කොමසාරිස්වරයා කළ දැන්වීමට තමන් විරෝධය පළ කරන බවත්, ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද කියා සිටී.

