දිවයිනේ පළාත් කිහිපයකට හෙට උණුසුම් කාලගුණ තත්ත්වයක්


ඩයනා උදයංගනී
 
උතුරු, උතුරුමැද, නැගෙනහිර ඇතුළු දිවයිනේ පළාත් කිහිපයක හෙට (03) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 
උතුරු , උතුරුමැද, නැගෙනහිර පළාත්වල බොහෝ ස්ථානයන්හි සහ වයඹ සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අද (02) නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 
මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක උණුසුම ඉහළ යා හැකි බව එහි දැක්වේ. මෙම ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ඉක්මවනු ඇතැයි අපේක්‍ෂා කරන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
මේ හේතුවෙන් වැඩි වේලාවක් උණුසුමට නිරාවරණය වුවහොත් වෙහෙසී කටයුතු කළහොත් අධික තෙහෙට්ටුව සහ විජලනය හා ශරීර ලවණ ඉවත්වීමෙන් මස්පිඬු පෙරලීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බව ද ඔහු පැවසීය.
 
එබැවින් එම ප්‍රදේශවල අධික වෙහෙසකාරී කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසත්, වැඩ බිම් තුළ කටයුතු කිරීමේදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, හැකි පමණ වේලාවක් සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන අතර වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබද සැලකිලිමත් විය යුතු බවද ඔවුන් පවසයි.
 
එමෙන්ම කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා නොයන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
දිවයිනේ බොහෝ පළාත්වලට අනිද්දා (04) සිට වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.