දිල්ලියට තවත් ප්‍රහාර මාලාවක්?


(විමුක්ති එස් රුද්‍රිගු)

දිල්ලි රතු බලකොටුව අසලදී පුපුරා ගිය මෝටර් රථය සූදානම් කර තිබී ඇත්තේ එළැඹෙන 6 වැනිදා දිල්ල නගරයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවකට බව අනාවරණය වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්.ඩී.ටීවී පුවත් සේවය අද (13) වාර්තා කළේය.

ජායිෂ් ඊ මොහොමඩ් නම් කාශ්මීරයේ ක්‍රියාත්මක පකිස්තාන ත්‍රස්තවාදී කණ්ඩායම එළැඹෙන 6 වැනිදා නව දිල්ලියේ ස්ථාන හයක බෝම්බ පිපිරීම් සැලසුම් කර තිබී ඇති බවත් ඒ සඳහා ෆරිදාබාද් හි සේවය කරන වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සහාය හිමිව තිබී ඇති බවත් එම පුවත්සේවය ප්‍රකාශ කළේය. ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්තවාදී කණ්ඩායම රතු බලකොටුව අසල පුපුරා ගිය හුන්ඩායි අයි20 මෝටර් රථය ඇතුළුව තවත් වාහන තුනක් එම ප්‍රහාර මාලාව සඳහා සුදානම් කර තිබී ඇති බවද එහිදී ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

එහිදී පුපුරුවා හැරීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම තෝරා ගෙන තිබූ වාහන හතර තෝරා ගැනීම සඳහා ප්‍රධාන හේතු වී ඇත්තේ එම වාහන කීපවතාවක් අලෙවි කර තිබීමත් එම වාහන පැරණි ඒවා වී තිබීමත් බව ආරංචි මාර්ග පවසා තිබේ. එලෙස පුපුරුවා හැරීමට තෝරාගත් වාහන මරුටි සුසුකි බ්‍රෙසා, ස්විෆ්ට් ඩිසයර් , හුන්ඩායි අයි20 සහ ෆෝර්ඩ් එකෝ ස්පෝර්ට් මාදිලිවලට අයත් බව එන්.ඩී.ටීවී පුවත් සේවය වාර්තා කළේය.

එම සැලසුම සඳහා ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්තවාදී කණ්ඩායම වාහන 32ක් පුපුරණ ද්‍රව්‍ය එහා මෙහා රැගෙන යාමටත්, පුපුරුවා හැරීමටත් තෝරා ගෙන තිබී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

හින්දු අන්තවාදීන් විසින් අයෝධ්‍යාවේ බබ්රි මස්ජිද් මුස්ලිම් පල්ලිය 1992 වසරේදී කඩා දැමීමට පළි ගැනීමක් ලෙස ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්තවාදී කණ්ඩායම මෙම ප්‍රහාර මාලාව සැලසුම් කර තිබී ඇතැයි  එන්.ඩී.ටීවී පුවත් සේවය සඳහන් කළේය.

මෙම ප්‍රහාර මාලාව පසුගිය අගෝස්තු මාසයේදී එල්ල කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායම සැලසුම් කර තිබී ඇතත් පසුව එය ලබන මාසය තෙක් කල් දැමීමට ඔවුන් තීරණය කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් ත්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධ යැයි සැක කෙරෙන වෛද්‍යවරුන් දෙදෙනෙකු වන මුසම්මිල් ෂෙයික් සහ ෂහීන් සයීඩ් අත් අඩංගුවට ගැනීමත්, ඇමෝනියම් නයිට්‍රේට් යැයි විශ්වාස කෙරෙන පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2,900ක් සොයා ගැනීමත් සමග කලබල වූ හුන්ඩායි අයි20 මෝටර් රථය පැදවූ බවට තහවුරු වී තිබෙන වෛද්‍ය උමාර් මොහොමඩ් එම රථය රතු බලකොටුව අසලට රැගෙන ගොස් පුපුරවා ගෙන තිබෙන බව එන්.ඩී.ටීවී පුවත් සේවය සඳහන් කළේය.

පුපුරුවා හැරීමට සූදානම් කළ ඉතිරි වාහන තුන විමර්ශකයන් විසින් සොයා ගනු ලැබ ඇති බවත් මෙම සැලසුම ඉන්දියාවේ ෆරිදාබාද් නගරයේ අල් ෆලා විශ්ව විද්‍යාලය වටා ගොඩ නැගී ඇති බවත් අත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් සියල්ල ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්තවාදී කණ්ඩායමට අයත් බව සැක කෙරෙන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.