දිල්රුක්‍ෂි වෙනුවට සොලිසිටර් ජනරාල්වරයෙක්


(මනෝප‍්‍රිය ගුණසේකර)

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත් වු බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ කළ වැඩ ආවරණය කිරීම සඳහ ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව ආයතන සංග‍්‍රහය යටතේ විනය පරීක්‍ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් අද (23) ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව ඒ මහත්මියගේ වැඩ ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම කර ඇතැයි වාර්තා වේ.

වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව පවත්වන විනය පරීක්‍ෂණයේදී මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් කළ පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කළැයි පැවසු නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය වික‍්‍රමසිංහ මහත්මිය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සුදුසුකම් ලත් නිලධාරියකු යොදවා අදාළ විනය පරීක්‍ෂණය සිදුකරන ලෙසද රාජ්‍ය සේවා කොමිෂමෙන් ඉල්ලීමක් කොට ඇත.

රෝගී තත්වයක් හේතුවෙන් මේ වන විට සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුරදී ඔහු සමඟ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය කළ දුරකතන සංවාදයක් ඇතුලත් හඬ පටයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීය.

සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ බව කියන එම වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය සත්‍ය එකක්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කළ යුතු යැයිද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මෙම විනය පරීක්‍ෂණය සිදුකරන නිලධාරියා කවුද? මෙම විනය පරීක්‍ෂණය සිදුකරන තුරු දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කළ යුතුද? ඇය අනිවාර්ය නිවාඩු ගැන්විය යුතුද? ආදී කරුණු පිළිබඳ තීරණය කිරීම රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත පැවරෙන බවද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.