(මනෝප‍්‍රිය ගුණසේකර)
සිය බාල වයස්කාර දියණිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 45 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
සිර දඩුවමට අමතරව රුපියල් 30,000 ක දඩයක් නියම කළ විනිසුරුවරයා අපයෝජනයට ලක්වූ දියණියට රුපියල් ලක්‍ෂ 3 ක වන්දියක් ගෙවීමට ද නියම කළේය.
මෙම විත්තිකරු මීට වසර 10 කට පමණ ඉහතදී එවකට බාලවයස්කාර වියේ පසුවූ සිය දියණිය අපයෝජනයට ලක්කර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි. මෙම චෝදනාවන්ට තමන් නිවැරදිකරු බවට විත්තිකරු පැවසීම නිසා දීර්ඝකාලයක් මුළුල්ලෙහි මෙම නඩුව විභාග කරන ලදී.
එම දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරුට එරෙහිව නඟා ඇති සියලූම චෝදනාවන්නට ඔහු වරදකරු බවට විනිසුරුවරයා තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හංස අබේරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙය අතීශය ඛේදජනක තත්ත්වයක් බවත් සමාජයේ සෙසු අය වරදට නොපෙළඹවීම සඳහා ආදර්ශයක් වන අන්දමට මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිපත්කරමින් විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලූ කරුණු සළකා බැලූ විනිසුරුවරයා විතිත්කරු වරදකරු කර එක් චෝදනාවකට වසර 15 බැගින් චෝදනා තුනට වසර 45 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ද, එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් චෝදනා තුනට රුපියල් 30,000 ක දඩයක් ද නියම කළේය.
නියම කළ දඩ සහ රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදල නොගෙවුවහොත් ඔහුට අමතර සිර දඩුවම් ද නියම කළේය.

