දිය රැළකට ගසාගෙන ගිය විදෙස් ජාතික මව-පුතා බේරා ගැනෙති


(අනීෂා මානගේ)

තංගල්ල මැඩිල්ල මුහුදේ දිය රැළකට ගසාගෙන ගිය විදේශීය ජාතික මවක සහ පුතෙකු තංගල්ල කොට්ඨාස පොලිස්  ජීවිතාරක්ෂක සහ පිහිනුම් ඒකකයේ නිලධාරීන් තිදෙනකු විසින් අද(21) බේරාගනු ලැබූහ.

මෙලෙස බේරාගෙන ඇත්තේ එංගලන්ත ජාතික සමන්තා ෆෙන්(49) සහ ඇයගේ පුතු වන ස්ටීව් ෆෙන්(31) දෙදෙනාය.

තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින අතරතුර මැඩිල්ල මුහුදු තීරයේ දින නෑමට ගොස් සිටියදී මොවුන් අනතුරට මුහුණපා ඇත.
ප්‍රදේශයේ අවට මුහුදේ තිබූ රළු ස්වභාවය හේතුවෙන් සහ මොවුන් දෙදෙනාටම පිහිනීමට නොහැකි වීමත් නිසා දිය රළකට හසුව ගසාගෙන ගොස් ඇත.

ස්ටීව් ෆෙන් මහතා ඔහුගේ මව තදින් අල්ලාගෙන උදව් ඉල්ලමින් කෑ ගසමින් සිටියදී ඒ අවට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු මොවුන් දැක ක්ෂණිකව ඉදිරිපත් වී ඔවුන් දෙදෙනා බේරාගැනීමට සමත් වූහ.