දිනේෂ් ෂාෆ්ටර් මරා දමලා


(නිමන්ති රණසිංහ)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති කළ පීඩනයක් හේතුවෙන් සිදුවූ අපරාධයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය එම මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද (31) ප්‍රකාශ කළාය.

ඒ අනුව එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළාය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන්ද උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ආරම්භ කරන ලෙසටද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කෙරිණ.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාවද මරණ පරීක්ෂණයේදී ඉදිරිපත්වූ පරීක්ෂණ වාර්තා ඇතුළු සියලු වාර්තාද සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.

මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරනු ලැබූ මෙම තීන්දුවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

"අධිකරණයේ නිරීක්ෂණ සටහන් ද, ඉදිරිපත්වූ සාක්ෂි ද, මුල් අවස්ථාවේදී ඉදිරිපත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද, අධිකරණයෙන් පත් කළ පංච පුද්ගල වෝහාරික විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර එකඟත්වයෙන් නිකුත් කරන ලද වාර්තාව (හතර එක ලෙස තීරණය කරන ලද බහුතර මතය) සැලකිල්ලට ගනු ලැබුවා.

මෙම මරණයට දෘශ්‍යමාන හේතුව මරණකරුගේ ගෙල සහ මුහුණ මත පීඩනයක් යෙදීම බව තීරණය කරමි. ඉහත කරුණු අනුව අපරාධයක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් ඇතිවේ.

ඒ අනුව වැඩිදුර විමර්ශන පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට නියෝග කරමි. ඥාතීන්ට මරණ සහතිකය ඉදිරිපත් කරමි.