දින 365න් 350ක්ම ගාලු ක්‍රීඩාංගනය වහලා - ඇමැති වජිර


සිරංගිකා ලොකුකරවිට
 
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය වසරේ දින 365න් දින 350ක් පමණම වසා දමා ඇති බවත්, මෙය ගැටලුවක් බවත්   ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී කීවේය.
 

දින 350ක් ක්‍රීඩාංගනය වසා දමා තිබෙනවා ද නැති නම් නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන් ක්‍රීඩාංගනයේ ගේට්ටු විවෘත කරනවා ද යන්න තීරණය කළ යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
 
 ඒ මහතා මේ බව කියා සිටියේ අද (30) ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සමෘද්ධි නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමකට එක්වෙමිනි.
අමාත්‍යවරයා එහි දී මෙසේ ද කීවේය.
 
‘‘මේ නගරයේ ළමයින් 80,000ක් පමණ අධ්‍යාපනය ලබනවා. ඒ අතර ඔබේ දරුවනුත් ඇති. අපි මේ දරුවන් ගැන හිතන්න ඕනෑ. මේ ක්‍රීඩාංගනය අවුරුද්දේ 365 දවසෙන් දවස් 350ක් විතර වහලා දාලා තියෙන්නේ. අපිට මේ ගැන ගැටලුවක් තියෙනවා.
 
ගාල්ල කොටුවේ මධ්‍යම පන්තියේ පවුල් 30ට පමණ ආණ්ඩුවෙන් නඩු දාලා තියෙනවා අනවසර ඉදිකිරීම් කළා කියලා. නමුත් රජය ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් කරලා දැන් ඒක භාවිතා කරනවා. මේ නීතිය වැරදියි. නීතිය කාටත් එක සමාන වෙන්න ඕනෑ.
 
මම ශ්‍රී ලංකාවේ හිටියේ නැති වෙලාවේ ප්‍රචාරයක් ගෙනිච්චා ක්‍රීඩාංගනය ඉවත් කරනවා කියලා. ක්‍රීඩාංගණය විකුණනන්න හදනවා කිව්වා. මේකේ හෝටල් ගහනවා කිව්වා. නමුත් අපි කතා කළේ ක්‍රීඩාංගනයේ අනවසර ඉදිකිරීම් ගැන විතරයි. කාටවත් ක්‍රීඩාංගනය ඉවත් කරන්න බැහැ. ඒක විකුණන්නත් බැහැ. හෝටල් ගහන්නත් බැහැ. අපේ රටේ ලෝක උරුම තියෙන්නේ අටයි. අපි ගාල්ල ලෝක උරුම නගරයක් විදියට ආරක්ෂා කරන්න ඕනෑ. අපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් මෙහි ගේට්ටු නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන් විවෘත කරනවා ද කියන එකයි.‘‘