දින 34කට පසු අනධ්‍යයන සේවක වර්ජනය අනිද්දා අවසන්


ඩයනා උදයංගනී 
 
මාසික හිලව් දීමනාව නොලැබීම, භාෂා ප‍්‍රවීණතා දීමනාව ගෙවීම පැහැර හැරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් විශ්ව අනධ්‍යන සේවකයින්  දින 34ක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය අනිද්දා (4) සිට අවසන් කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය.

 
උසස් අධ්‍යාපන හා  මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ අද (2) පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවක් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.
 
තමන් ඉල්ලා සිටි සියයට 35ක් වන මාසික හිලව් දීමනාවෙන් සියයට 10ක් මෙම මස හෝ ලබන මස වැටුප සමඟ ලබාදීමට හා ඊට අදාළ චක්‍රලේඛය හෙට (3) නිකුත් කිරීමට අමාත්‍යවරයා එකඟ  වූ බවත්, එම චක‍්‍රලේඛය නිකුත් වූ පසු වැඩවර්ජනය අවසන් කරන බවත් ඔහු ප‍්‍රකාශ කළේය.
 
මෙම විසඳුම මගින් තම ගැටලූ සියයට සියයක් නොවිසඳුනත්, විශ්ව විද්‍යාල පද්ධතියේ පැවැත්ම ගැන සිතා මස් රාත්තලම නොඉල්ලා තම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව රැස්වූ වෘත්තීය සමිති තීරණය කළ බවද සම සභාපතිවරයා කියා සිටියේය.