දැව ප්‍රවාහන නීති ලිහිල් කළ යුතුයි


(ඩයනා උදයංගනී)

දැව හා මැටි ආදී අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ග්‍රාමීය කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා ඇතැයි  වේවැල්, පිත්තල මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා පැවැසීය. 

විශේෂයෙන්ම දැව ප්‍රවාහන නීති රීති හේතුවෙන් වඩු කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා වඩු කර්මාන්තයේ නියැළෙන්නන්ගේ පහසුව සඳහා දැව ප්‍රවාහන නීති ලිහිල් කළ හැකිදැයි ඉදිරියේදී සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.

වඩු කර්මාන්තකරුවන් සිය නිෂ්පාදන සඳහා දැව ප්‍රවාහනය කිරීමේදී ගැටලුවලට මුහුණපාන හෙයින් පරිසරය ද ආරක්ෂා කරගනිමින් දැව ප්‍රවාහනය සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කළ හැකිදැයි යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කී ඇමැතිවරයා මැටි භාණ්ඩ නිෂ්පාදකයින් ද අමුද්‍රව්‍ය ලබාගැනීමේ ගැටලුවකට මුහුණ පා සිටින බව කීවේය.

දේශීය කර්මාන්ත දියුණු කිරීමට නම් එම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලුවලට පිළියම් ලබාදිය යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.