දැරිය ඝාතනය කළ මව රිමාන්ඩ්


(එච්. චන්දන)

පුත්තලම සාලියවැව නීලබැම්ම ඕලුමඩුවේ අතුරුදන් වූ දැරියගේ මව ලබන  08 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්  ලහිරු එස්.සිල්වා මහාතා  නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර  ගතකළේ  මිය ගිය දැරියගේ මව වන එච්.එම්. නයනා කුමාරි නැමැති 21 හැවිරිදි කාන්තාවක්ය.

සිද්ධිය සම්බන්ධව සාලියවැව පොලිසිය මගින් ඉකුත් 04 බි වාර්තාවක්  පුත්තලම  අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් කියා සිටයේ සාලියවැව පොලිස් ස්ථානයේ මෙම දැරිය අතුරුදහන්වීම පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු කරන බවත් තවත් පැය 24ක් රඳවා තබාගෙන පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බවයි.

රැඳවුම් නියෝග මත සිටි සැකකාරිය  පුත්තලම අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය කළේය.

නීලබැම්ම ඕලු මඩුවේ පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක වන ඩබ්ලිව්.ජී.තෙනුරි තිසාරා දැරිය ඉකුත් 30 දින උදෑසන සිය මව සමඟ නිවසේ සිටිය දී අභිරහස් ලෙස අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව දැරිය සොයා මෙහෙයුමක් ආරම්භ කළ බව සාලිය වැව පොලිසිය පවසයි.

දැරිය පදිංචිව සිටි නිවස ආසන්නයෙන් ඇති කලා ඔය ප්‍රදේශයේ නාවික හමුදා කිමිදුම්කරුවන් , පොලිස් කිමිදුම්කරුවන් යොදා සොයා බැලූ අතර 05 වනදා වන විටත් දැරිය සොයා ගැනීමට නොහැකි වී තිබේ.