දැයට කිරුළ වොලිබෝල් තරගාවලිය තල දෙකකින්


මෙම වසරේ දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇති වොලිබෝල් තරගාවලිය ජනවාරි මස 12 වැනිදා සිට පෙබරවාරි මස 10 වැනිදා දක්වා ‘දැයට කිරුළ පාසල් තලයේ වොලිබෝල් තරගාවලිය’ සහ ‘දැයට කිරුළ කී‍්‍රඩා සමාජ තලයේ වොලිබෝල් තරගාවලිය’ යනුවෙන් තරගාවලි දෙකක් ලෙසින් පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලි ද්විත්වයම පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් සහ ජාතික මට්ටමේ අවසන් වටය ලෙසින් අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර පළාත් මට්ටමේ තරග වලින් ශූරතාවය සහ අනු ශූරතාවය ලබා ගන්නා කණ්ඩායම් වලට ජාතික මට්ටමේ තරග සඳහත්, ජාතික මට්ටමේ තරග වලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් වලට අවසන් වටයේ තරග සඳහත් සහභාගී වීමට අවස්ථාව උදාකරගත හැක.

පළාත් මට්ටමේ තරග ජනවාරි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජාතික මට්ටමේ තරග ජනවාරි මස 19 සහ 20 දෙදින තුළ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.

අම්පාර දැයට කිරුළ භූමියේදී පැවැත්වෙන්නේ පෙබරවාරි මස 5 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අවසන් මහා තරග කිහිපය පමණි. තරගාවලිය සඳහා අයදුම් පත් බාරගැනීම මේ වන විටත් අවසන් වී ඇත.