දළුවත්තගේ පහර දීම ගැන පොලිස් කොමිසම පරීක්ෂණ අරඹයි


(ඉන්දිකා රාමනායක)

හම්බන්තොට  වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ  ඉන්දියාවට  පැවරීමට  එරෙහිව ඉකුත් 6 වැනි දා හම්බන්තොට දී විරෝධතාවයේ  නිරතව සිටියදී  අත්අඩංගුවට ගත්  තරුණයකුට ප‍්‍රසිද්ධියේ  පහරදීමේ සිද්ධිය පිළිබඳ  ජාතික පොලිස් කොමිසම අද (16) සිට පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි අංශයේ  විමර්ශන අධ්‍යක්ෂ එම්.මොරගොල්ල මහතාගේ ප‍්‍රධානාත්වයෙන්    ති‍්‍ර පුද්ගල කණ්ඩායමක් ඊයේ (15) මෙම පරීක්ෂණ සඳහා හම්බන්තොට  ප‍්‍රදේශයට ගොස් ඇති බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් තරුණයකුට පහර දුන් බවට  හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්තට එරෙහිව  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්  පසුගිය 10 වැනිදා  ජාතික පොලිස් කොමිසමට කළ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය ආරම්භ කර තිබුණි.

මෙම වාර්තාව සති දෙකක කාලයක් ඇතුළත  කමිටුව වෙත ලබාදුන් පසු  එය අධ්‍යයනය කර  සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් පියවර ගන්නා බවද පොලිස් කොමිසම කියයි.