දළ පුට්ටුවා ඝාතනයට සැක ඉංජිනේරුවාත් හිමිනමත් සොයයි


(උපාලි ආනන්ද)

ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ගල්ගමුව ප‍්‍රදේශයේ වාරිමාර්ග  විධායක ඉංජිනේරුවරයකු සහ පොල්පිතිගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් අත් අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසිය මූලික විමර්ශන අරඹා ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින පළමු සහ දෙවන සැකකරුවන්ගෙන් දීර්ඝව සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදි අනාවරණ වූ කරුණු ඔස්සේ මෙම සැකකාර වාරි ඉංජිනේරුවරයා සහ විහාරාධිපති හිමි නම රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනීමට නියමිතය.

දැනට සැකකරුවන් නව දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටිති. ග‍්‍රාම නිළධාරින් තිදෙනෙක් ද ඒ අතර වෙති. තමන් අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙසට නියෝගයක් ඉල්ලා මෙම සැකකැවන් දෙදෙනා අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙම නඩුව මහව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් 12 වැනිදා කැදවූ  අවස්ථාවේ සිට එය කැදවන ඉදිරි සෑම නඩු දිනයකම පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තෙමින්තුවේ නියෝජ්‍ය සොලියුස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂත්වයකි. දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාල නඩුවකට පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තෙමින්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක පෙනී සිටින මෑත ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාවද මෙයයි.