දළ ඇතාගේ මරණයට අත්අඩංගුට ගත් හමුදා කපිතාන්ට ඇප


             
 
(රොමේෂ් මධුෂංඛ)


මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් මියගිය ඇතාගේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ විදුලි රැහැන් ඇද තිබූ බවට සැකකෙරෙන යුද හමුදා කඳවුරක කපිතාන්වරයකු අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත.


මුලතිව් වනජීවි නිලධාරීන් හා පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් මුලතිව් 68 වැනි සේනාංකයට අයත් කපිතාන්වරයකු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට මුලතිව් මහෙස්ත්‍රාත්  නියෝග කළේය.


නඩුව ජුලි 17 වැනි දා කැඳවීමට නියෝග කර තිබේ.


දළ ඇතා ගමන් කරන ලද මාර්ගයේ විදුලි රැහැන් ඇද තිබීම නිසා දළ ඇතා එම විදුලි රැහැන්වල පැටලී ඇති අතර ආසන්නයේ යුද හමුදා ගොවිපළක් හා සිවිල් ආරක්ෂක බළකා ගොවිපළක් ද පිහිටා ඇති අතරම විදුලි රැහන් ඇද ඇත්තේ ආසන්නයේ පිහිටි කෝවිලකට විදුලිය ලබාදීමට බවට යුද හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇතත් අදාළ රැහන් අනාරක්ෂිතව ඇද තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව වනජීවි නිලධරයෝ පවසති.