දශක දෙකක මෙහෙවරට ලැබුණේ සිර දඬුවමයි


(ශාන්ත ප්‍රදීප් කුලරත්න)

වසර පහළොවක විස්සක සිට මේ රට ජාතිය ආගම වෙනුවෙන් කළ මෙහෙවරට අවසානයේදී ලැබුණේ හිරේ විලංගුවෙ වැටීම පමණක් බවත් රට අනතුරේ වැටී ඇති වෙලාවක මේ රටේ තරුණ පිරිස සහ මහා සංඝරත්නය ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ බන්ධනාගාරයෙන් නිදහස්වීමෙන් අනතුරුව කොට්ටාව රුක්මල්ගම ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණ පූජ්‍ය ඉත්තෑපානේ මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මේ බව කීහ.

අනතුරුව උන්වහන්සේ මෙසේද පැවැසූහ.

‘‘මේ රට අද වන විට දැඩි අනතුරක නිරතවෙන්නේ. ඒ බව වසර පහක සිට අපි කිව්වා. ඒ වෙලාවේ අපිට නොර්වේ ප්‍රොජෙක්ට්කාරයෝ කීවා.ඩීල්කාරයෝ කීවා.කුමන්ත්‍රණකාරයෝ කීවා.ඒත් අපි ඒ දේවල් රටට හෙළි කළා.

අපේ චරිත ඝාතනය කළා.අන්තිමට නොමරා මැරුවා.හිරෙත් දැම්මා.ඒත් අද සත්‍ය ජයඅරන් තියෙනවා.මේ වෙලාවේ ජනාධිපතිවරයා ගත්ත තීන්දුවට ස්තූතිවන්ත වෙනෙවා.මොකද අවුරුදු 19 ක් ලබාදුන් සිරදඬුවම ජනාධිපති සමාව යටතේ ලබා දීම පිළිබඳව.

මේ වෙලාවේ මම කිවයුතුයි, මාව නිදහස් කරන්න එපා කියලා මේ රටේ සහ විදේශයන්ගෙන් සහ අපිත් සමඟ හිටිය අය කියලා තිබුණා.එවන් තත්ත්වයක් මත මා නිදහස් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම රට වැසියන්ට ස්තූතිවන්ත වෙනවා.

මේ වෙලාවේ අපි මේ රටේ ජනතාවගෙන ඉල්ලා සිටින්නේ විවිධ පාර්ශ්ව ඇවිත් අපේ ගමන කඩාකප්පල් කරන්න  ගැටුම් හදන්න හදයි.ඒ නිසා මේ රටේ තරුණයන්ගෙන් සහ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියා කරන්න කියලා.‘‘

 

 


(ඡායාරූප - ලහිරු හර්ෂණ)