ප්‍රශ්නය - මම 35 හැවිරිදි කාන්තාවක්ම. රජයේ රැකියාවක නිරතව සිටියි. සැමියා ද පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකි. මට ඇති ගැටළුවනම් දරුවකු බිහිකිරීමට අධික බියකින් පසුවීමයි. මට උපදින දරුවා අංගවිකල දරුවකු හෝ මන්ද බුද්ධික දරුවකු වේ යැයි මට බියක් තිබේ. මෙය වසර ගණනක සිට මගේ සිත පීඩාවට පත්කරන බැවින් දරුවකු සෑදීමට ආසාවක් ඇතත් එයට බියෙන් පසුවෙමි. මෙයට සුදුසු උපදෙසක් දෙන්න.
පිළිතුර - අංගවිකල දරුවන් ඇතිවන්නේ ඉතා කලාතුරකිනි. අපට පාලනය කරන්න නොහැකි හේතූන් නිසා ඕනෑම කෙනෙකුට අංග විකල දරුවන් ඇත්වන්න හැකියාව තිබේ. ඒ අවදානම ඉතා සුළු අගයක් ගන්නා දෙයකි. අංග විකල දරුවකු ඇතිවේ යැයි බියෙන් දරුවකු බිහිනොකර සිටීම මාර්ගයේ දී අනතුරක් වේයැයි බියෙන් පාරේ නොගොස් නිවසටම වී සිටීම වැනි කිසිදු තේරුමක් නැති අර්ථ ශුන්‍ය දෙයකි. දරුවකු අංගවිකල වීමට වඩා පුද්ගලයකු පාරේදී අනතුරට ලක්වීමේ සම්භාවිතාව වැඩිය.
කෙසේ වෙතත් ඔබට ඇත්තේ මානසික ගැටළුවකි. අවදානම ගැන සිතිවිල්ල තමන්ගේ පාලනයකින් තොරව නැවත නැවත සිතට මතුවෙන්න පුළුවන. ඔබට එය පාලනය කර ගැනීමට නොහැකි වී තිබේ. ඇතැම් අයට ගර්භණී බව දකින විට, කතා කරනවිට මේ සිතිවිලි නැවත නැත මතුවෙයි. එය මානසික රෝගී තත්ත්වයකි. පුද්ගලයකු නිතර නිතර අත සෝදන්නේත් දොරගුළු දමා ඇත්දැයි නිතර නිතර බලන්නේත් එවැනිම රෝගී තත්ත්වයක් හේතුවෙනි. ඒ නිසා වහාම ළඟම ඇති රෝහලේ මනෝ වෛද්‍ය සායනයට යොමුවී ප්‍රතිකාර ලබාගන්න.
(විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා විසින් පිළිතුරු දුන් ප්‍රශ්නයකි)

