දරුවන් වෙනුවෙන් පනත් ළඟදීම මැති සබයට


(සුජිත් හේවාජුලිගේ)

බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදවා ගැනීම වැළැක්වීම සඳහා අණ පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධානීන් සමග මේ දිනවල සාකච්ඡා කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය .

වයස 18 ට අඩු ළමයින් මෙහෙකාර සේවයට යොදවා ගැනීම වැළැක්වීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව කී අධිකරණ ඇමැතිවරයා දරුවන් වෙනුවෙන් වෙනම උසාවි පිහිටුවීම සහ විවිධ අපචාර හා අඩන්තේට්ටම්වලට ලක් වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබා ගැනීම යනාදී කරුණු සම්බන්ධයෙන්ද නව නීති ගෙන ඒමට සාකච්ඡා කරගෙන යන බවද පැවසුවේය.

සෑම පළාතකම දරුවන් වෙනුවෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවද හෙතෙම කීවේය.