දඹුලු පල්ලිය අල්ලන් කලබල එපා


දඹුල්ලේ මුස්ලිම් පල්ලිය මුල් කරගෙන රටේ ප්‍රශ්න ඇති නොකරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව දඹුල්ල මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය ඉල්ලීමක් කරයි. දමුල්ලේ සිංහල හා මුස්ලිම් ජනතාව සාමකාමීව ජීවත් වන බවත් සියලු දෙනාම රට ගැන සිතා ක්‍රියා කළ යුතු බවත් භාරකාර මණ්ඩල සභික නීතීඥ බුහාර් ඩීන් අමානුල්ලා මහතා පවසයි. විවිධ  අය මේ සිද්ධිය ගැන නොයෙකුත් ප්‍රකාශ කරන බවත්, කළ යුතු එකම දේ හෙට පල්ලියට ගොස් යාඥා කර සාමකාමීව විසිර යාම බවත් ඔහු අවධාරණය කරයි. ‘කිසිම කලබලයක් කරන්න එපා. මේ ප්‍රශ්නය ඇතිවූ දවසේ සිටම දඹුල්ලේ සිංහල මුස්ලිම් සමගිය ඉතාම හොඳින් පවතිනවා. ‘ භාරකාර මණ්ඩලයේ එස් වයි මොහොමඩ් අජ්ජුවාඩ් මහතා පැවසූයේ මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇති බවයි. ‘රාජ්‍ය නොවන සංවිධාන හා ඇතැම් දේශපාලනඥයන් මේ ප්‍රශ්නය අල්ලාගෙන විවිධ ප්‍රකාශ කරනවා. කරුනාකර එය නවත්වන්න. දඹුල්ලේ අපි සාමයෙන් සහජීවනයෙන් සිටින හැටි බලන්න. අපි නීති ගරුකයි. ජනපතිතුමා අපට සාධාරණ විසඳුමක් දේවි. යුද්ධයක් ඇති කරන තැනට මේ සිද්ධිය තල්ලු කරන්න එපා.‘