දඹදිව වන්දනාවේ ගිය වන්දනාකරුවන් ගෙන්වා ගන්න පියවර


(තිළිණි ද සිල්වා)

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 871 දෙනෙක් ගුවන් මගින් නැවත දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද (19) සිට ලබන 25 වැනිදා තෙක් සිදු කෙරෙන බව විදේශ සබදතා අමාත්‍යාංශය කියයි.

මෙම පිරිසට අමතරව ඊයේ (18) දින තවත් වන්දනාකරුවන් 700 දෙනෙකු ඉන්දියාවේ සිට ගුවන් ගමන් මගින් නැවත මෙරටට පැමිණ ඇති අතර නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මෙම පිරිසට අවශ්‍ය පහසුකම් සැපයූ බවද එම අමාත්‍යාංශය පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් දිල්ලිය සහ චෙන්නායි වෙත ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර දෙකකින් දැනට ඉන්දියාවේ රැඳී සිටින වන්දනාකරුවන් පිරිස ගෙන්වා ගැනීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

ඒ අනුව මෙම ගුවන් ගමන් අද (19) සිට ලබන 25 වැනිදා දක්වා පස්වරු 6.30 ට සහ රාත්‍රී 9.35 ට නවදිල්ලිය සහ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිතය.

ආසන ලබා ගැනීමේ හැකියාව අනුව මෙම ගුවන් ගමන් වල ඉතිරි බැතිමතුන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා මෙම දූත මණ්ඩල දෙක ශ්‍රී ලංකා ගුවන් සේවය සමඟ කටයුතු කරයි.

ඉන්දියාවේ සිටින ලාංකික  වන්දනාකරුවන්  නැවත ගෙන්වා ගැනීමේ කටයුතු නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව සම්බන්ධීකරණ හා පහසුකම් සැපයීම සිදු කරන අතර කටුනායන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමීමෙන් පසුව මෙම ගුවන් ගමන් සිදුකෙරේ.