දඹදිව බුද්ධගයාවට පසු ගියදා එල්ල වූ ප‍්‍රහාරයෙන් අනතුරුව දඹදිව සිද්ධස්තාන වන්දනාමාන කිරීම සඳහා ගමන් ගන්නා ශ‍්‍රී ලාංකික බැතිමතුන්ගේ ආරක්ෂක තත්වය සම්බන්දයෙන් සොයා බැලීම සඳහා අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියෝ ප‍්‍රමුඛ දූත පිරිසක් අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දඹදිව බලා පිටත්ව ගියහ.
ජනාදිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් වටිනාපහන සෝමානන්ද සහ පූජ්‍ය කහවත්තේ සරණංකර හිමියෝද මෙම දූත පිරිසට එක්ව සිටිති.
ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 171 දරණ ගුවන් යානයෙන් අස්ගිරි මහ නාහිමියෝ ඇතුළු දූත පිරිස බැංගලෝරය බලා පිටත්ව ගිය අතර එම පිරිස දින පහක කාලයක් දඹදිව සිද්ධස්ථානයන් කරා ගොස් එහි වත්මන් තත්වය සොයා බැලීමට නියමිතය.
තමිල් නාඩු ප‍්‍රාන්තය හරහා ගමන් කිරීමේදී ශ‍්‍රී ලාංකීය බොදු බැති මතුනට විඳින්නට සිදු වන විවධ හිරිහැර හා බාධා පිළිබඳව සැලකිල්ලට ගනිමින් ඒ වෙනුවට දඹදිව සිද්ධස්ථාන වන්දනා මාන කිරීම සඳහා බැංගලෝරය හරහා නව මාර්ගයක් හඳුන්වාදීම මෙම ගමනේ අරමුණ වෙයි.
මීට අමතරව රටට, දැයට සෙත් පතා ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාමය පින්කමක්ද ලබන 04 වෙනිදා පස්වරුවේ බුද්ධගයා පරිශ‍්‍රයේ පිහිටි ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අස්ගිරි මහා නාහිමියන් ප‍්‍රධාන මහා සංගරත්නය විසින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පසුගියදා බුද්ධගයාවට එල්ල වූ ප‍්‍රහාරය හේතුවෙන් දඹදිව වන්දනාවේ යාමට බොහෝ බැතිමතුන් බියට පත්ව සිටියද මේ වන විටත් ඉන්දීය මධ්‍යම රජයේ බිහාර් ප‍්‍රාන්ත ආරක්ෂක අංශ වල උපරිම ආරක්ෂාවක් බුද්ධගයාවට හා සෙසු සිද්ධස්ථානයන් වෙත ලැබී ඇති බවද වාර්ථා විය.
දූත පිරිස පිටත්ව යාමට මත්තෙන් විශේෂ සෙත් පිරිත් සජ්ඡායනාකාවක්ද ගුවන්තොටුපොළේදී පැවැත් වූ අතර ඉන් අනතුරුව අස්ගිරි මහ නා හිමියෝ පැවසූවේ.
‘‘ මෑත භාගයේදී දඹදිව වන්දනාවේ ගිය අපේ බෞද්ධ පින්වතුන්ට මෙන්ම මහා සංඝරත්නයට ඉතාම කනගාටුදායක අවස්ථාවන් කිහිපයකට මුහුණ දෙන්න සිදු වුනා. ඒ සියළු ගැහැට සිදුවුනේ මදුරාසි නගරයෙදී. ඒ නිසා මදුරාසි නගරය හරහා යාම බියකරු තත්වයක් වුනා. ඒ නිසා මදුරාසි නගරය මගහැර බැංගලෝර නගරය හරහා බුද්ධගයාව, බරණැස ආදී සිද්ධස්ථාන වැද පුදාගැනීමට අවස්ථාවක් සලසන්නයි අපි මේ ගමන අද යන්නේ.
බුදු කෙනෙකුගේ උත්පත්තිය, බුදු වීම, දම්සක් දේශනාව, පිරිනිවන් පෑම යන මේ ස්ථාන හතර යම්කිසි කෙනෙකුට වැද පුදා ගැනීමට ලැබෙනවා නම් ඒක ජීවිතයේ උදාවෙන ඉතාම වාසනාවන්ත අවස්ථාවක් බව බුදු රජානන් වහන්සේ පවා දේශනා කර තිබෙනවා.
බුදු රජානන් වහන්සේ බුද්ධත්වයට පත් වුනු උන්වහන්සේ ධර්මය දේශනා කරපු ඉසිපතනාරාමය වැනි බෞද්ධ සිද්ධස්ථාන ලංකාවාසී සිංහල බෞද්ධයන්ට ඉතාම උතුම් ස්ථාන හැටියටයි අපි සඳහන් කරන්නේ.
දඹදිව සියළුම සිද්ධස්ථානයන් අපේ ලංකාවට අපේ බෞද්ධ ජනතාවට වැද පුදා ගැනීමට පහසු කම් සැලසුවේ ඒ ස්ථාන සංරක්ෂනය කිරීමට මූලිකත්වය ගත්තේ අපේ අනගාරික ධර්මපාල තුමා.
එතුමන්ගේ ඒ දැඩි උත්සාහය නැත්නම් අපිට දඹදිව ඒ ඉතාම උතුම් වටිනා ස්ථාන දැක වැද පුදාගැනීමට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ.
අනගාරික ධර්මපාල තුමා පසුව දේවමිත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමින් පැවිදි බාවයට පත්ව ජීවිත පරිත්‍යාගයෙන් යුක්තවයි ඒ ස්ථාන රැක බලා ගත්තේ, ආරක්ෂා කර ගත්තේ.
එසේ රැකගත් නිසා තමයි ලංකාවාසී බෞද්ධ ජනතාවටත්, ලෝකයේ අනිත් සියළුම බෞද්ධ රටවල ජනතාවටත් දඹදිව සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට අවස්ථාව උදා වුනේ.
අපේ ලංකාවාසී බෞද්ධ ජනතාව මෙතෙක් කල් හිරිහැරයක් නැතුව කරදරයක් නැතුව ශ‍්‍රී ලංකා රජයේ ආදාර උපකාරයෙන් සහ ඉන්දීය රජයේ සහ ජනතාවගේ සහයෝගයෙන් ඒ සිද්ධස්ථාන වැදපුදා ගැනිමට ගියා. ඒ වගේම මේ දක්වාමත් යනවා.
ඒත් මැත භාගයේදී අපිට ඉතාමත් කනගාටුදායක අවස්ථාවන් කිහිපයකට මුහුණ පාන්න සිද්ද වුනා. අපේ ජනතාව විශේෂයෙන්ම ඒ ස්ථාන වැඳපුදා ගැනීමට මුල ඉදලම ගියේ දකුනු ඉන්දියාවේ මදුරාසි නගරයට. ගිහින් එතනින් තමයි කෝච්චි වල බස්වල සහ අනෙකුත් ස්ථාන වැඳපුදා ගැනීමට ගියේ.
නමුත් මෑතකදී සිදු වූ දේවල් නිසා අපේ බෞද්ධ ජනතාව දඹදිව වන්දනා ගමන යාමට ඉතා බියකරු තත්වයකට පත් වුනා. ඒ නිසා ශ‍්‍රී ලංකා රජයත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමත් මේ තත්වය කල්පනා කරලා අපේ ජනතාවට පහසුවක් සහ කරදරයක් නැති ගමන් මාර්ගයක් සලසා දිමටයි මේ ගමන යාම සඳහා කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ.
ශ‍්‍රී ලංකාවෙන් පිටත් වෙලා බැංගලෝර නගරයට ගිහිල්ලා බැංගලෝර නගරය හරහා බුද්ධගයාවට, ඒ වගේම බරණැස ආදී සිද්ධස්ථාන වැදපුදා ගැනීමට අපේ බෞද්ධ ජනතාවට පහසුවක් සැලසීමේ අදහසින් මේ ගමන සුදානම් කර තිබෙන්නේ.
ඒ නිසා අපේ ජනතාවට සන්තෝස වෙන්න පුලූවන් මින් ඉදිරියට අපිට කිසිම කරදරයක් නැතිව ඒ ද්‍රවිඩ ජනතාවගෙන් හිංසාවක් පීඩාවක් නැතිව සැනසීමෙන් මේ ගමන යන්ඩ පහසුකම් ලැබීම ගැන.