දමන කම්පන හේතුව අබිරහසක්


අම්පාරේ සිට කිලෝමීටර් 25ක් ඈතින් පිහිටි දමන වඩිනාගල, දේවාලහිඳ හා කිවුලේගල භූකම්පන මාන සිවි කළ භූ විද්‍යාඥයෝ සතියක් පුරා ගමේ රැඳී සිටිති. ඔවුන් එහි එන්නට පෙර දිනපතාම වාගේ කම්පන සිදුවූ බව කියතත් කම්පන මාන සවි කිරීමෙන් පසු සෙනසුරාදා රාත්‍රී කම්පනයක් සිදුවූ බව දේවාලහිඳ මානකයේ සටහන් වී ඇත. භූ විද්‍යාඥ කණ්ඩායමේ නායක ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ජානක අජිත්ප්‍රේම මහතා ඇතුළු කණ්ඩායම දින කිහිපයක් ගමේ රැඳී සිටිමින් දිගටම පරීක්ෂණ සිදු කරයි. භෞතික භූ විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා දිගටම ගමේ රැඳී සිටියි. දමන ප්‍රාදේශීය සභා මන්ත්‍රී විපුල රත්නායක මහතා පැවසුවේ මෝටාර් උණ්ඩයක් පුපුරා යන හඩට සමාන හඩක් නිකුත් වීමත් සමග සෙනසුරාදා රාත්‍රී 6.55ට තම දෙමහල් නිවස සෙලවී ගිය බවයි. තවත් බොහෝ දෙනෙකු කී විස්තර අනුව ඒ වෙලාවේ පිපිරීමක් සිදුවී ඇත. පොළොවද දෙදෙරුම් කෑ බව ඔවුහු කියති. එහෙත් භූචලනයකදී එවැනි පිපිරීම් හඩක් සිදු නොවන බව අජිත් ප්‍රේම මහතාගේ අදහසයි. භූවිද්‍යා හා පතල් කනීම් කාර්යංශයේ සභාපති එන් පී විජයානන්ද මහතා පැවසුවේ වඩිනාගල සිදුවූ කම්පනය පල්ලේකැලේ භූචලන මාපකයේ සටහන් වී ඇති බවයි. එහෙත් එය හක්මන හා මහකනදරාව මාපකවල සටහන්ව නැති බව ද ඔහු කියයි. ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල  

සබැඳී පුවත්....

වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ