ඩයනා උදයංගනී
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඔහු වරදක් කර ඇත්නම් පළාත් පාලන මැතිවරණයට පෙර පියවරක් ගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
පසුගිය රජය සමයේ රතුපස්වල ඇතිවූ සිද්ධිය සම්බන්ධ නිසි පියවරක් නොගැනීම නිසා ශ්‍රී.ල.නි.ප ඡන්ද පදනමක් ඇති ගම්පහ දිස්ත්‍රික්කය පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 4000කින් පැරදුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරියේදී පළාත් පාලන ආයතන සඳහා ප්‍රධානීන් පත්කිරීමේදී හොඳම පුද්ගලයින් පත්කිරීම පක්ෂයේ අපේක්ෂාව බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කර ඇත්තේ ද ‘පිරිසිදු පාලනයක් උදෙසා‘ යන තේමාව යටතේ බව කියා සිටියේය.
නූගත් හා සුදුසුකම් නොමැති අය තනතුරුවලට පත්වීම නිසා ගැටලූ ඇතිවන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී තනතුරක් දෙන විට ඔවුන්ගේ සාමාන්‍ය දැනීම හෝ පරීඬා කළ බැලිය යුතු බවද කීවේය.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් වන තමන් ඌව ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාව කිසිසේත් අනුමත නොකරන බව කී අමාත්‍යවරයා ළමුන් පාසලට ඇතුළත් කිරීමේදී කිසිවෙකුට අසාධාරණයක් වී ඇත්නම් නිලධාරීන් හරහා පරීක්ෂණයක් කළ හැකි අතර රාජකාරී කටයුතු සඳහා කාර්යාලයක් ඇති බැවින් කිසිවෙකු නිල නිවසට කැඳවිය යුතු නැතැයි ද සඳහන් කළේය.

