දකුණේ ‘මදූෂ්‘ බාර නොවුණොත් දේපළ රාජසන්තකයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනයේ ප්‍රධාන සැකකරු වු දකුණේ ප්‍රකට පාතාල කල්ලි නායක මදුෂ් ලක්ෂිත නැමැත්තා ලබන මාර්තු මස 27 වැනිදාට පෙර අධිකරණයට හෝ පොලීසියට භාර නොවුනහොත් ඔහුගේ සියලු දේපල රාජසන්තක කිරීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන බව මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී විතාරණ මහත්මිය නියම කළාය.
 
විවෘත වරෙන්තු ලැබ සිටින මදුෂ් නැමැත්තා 2014 වසරේ සිට අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන නිසා ඔහුගේ සියලු දේපල හා වත්කම් රාජ සන්තක කරන ලෙසට මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතාගේ උපදෙස් මත කඹුරුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඕ.යූ.ජයශාන්ත මහතා අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව අදාල නියෝගය ලබා දී තිබේ.
 
දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා මාකදුර නගරයේ දී වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2006 වසරේදීය.