සිරංගිකා ලොකුකරවිට
දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ සියලුම පෙර පාසල් ලබන සඳුදා (28) දක්වා වසා තබන්නැයි නියෝග කළ බවත් රෝගය පැතිර යන ප්‍රදේශවල පාසල් හි ප්‍රාථමික අංශ හෙට (22) අනිද්දා (23) දින දෙකෙහි වසා තැබීමට උපදෙස් දුන් බවත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය කුඩා ළමුන් අතර බහුලව පැතිරී යාමත් රෝහල්වල ළමා වාට්ටුවල අධික තදබදයක් ඇතිවීමත් හේතුවෙන් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත මෙම තීරණය ගත් බවයි. ඒ අනුව දකුණු පළාතේ මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල හා ගාල්ල යන කලාපයන් හි සියලුම පාසල්වල එක වසර සිට පහ වසර දක්වා පන්ති හෙට සහ අනිද්දා වසා තැබෙනු ඇත.
ඉන්ෆ්ලුවැන්සා රෝගය හේතුවෙන් දකුණු පළාතේ දරුවන් කිහිපදෙනකු මියයෑම නිසා මෙම තීරණය ගත් බවද පළාත් අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද කීවේය.
" ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය දකුණු පළාතේ කුඩා දරුවන් අතර වේගයෙන් පැතිරී යන නිසා අපි මේ තීරණය ගත්තා. වෛද්‍යවරුන් පවසන්නේ උණ, හෙම්බිරිස්සාව, කැස්ස, කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒ දරුවන් පාසල් යවන්න එපා කියලයි. ඒ දරුවන් පාසල් පැමිණීමෙන් අන් අයටත් රෝගය පැතිරී යා හැකියි.
ඒ වගේම දරුවන් සෙනඟ ගැවසෙන ස්ථාන වලින් ඈත්කර තැබීමත් වැදගත්. බදාදා (23) දිනයේ දී අධ්‍යාපන නිලධාරීන් සහ වෛද්‍යවරුන් එක්ව කරන සාකච්ඡාවකින් පසුව වසා තැබුණු පාසල් විවෘත කරන දිනය තීරණය කරනවා."