දකුණේ බිළිඳුන් රකින්න රුහුණ වෛද්‍ය පීඨයෙන් අතහිත


දකුණු පළාතේ උපත ලබන ළදරුවන් අතරින් තයිරොක්සීන් ඌනතාව ඇතැයි හඳුනාගත් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් කැඳවා රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය විද්‍යාලය අද විශේෂ වැඩසටහනක් පැවැත්වීය. 2010 සැප්තැම්බර් මාසයේ සිට දකුණු පළාතේ රෝහල්වලදී උපත ලබන ළදරුවන් රෝහලින් පිටව යාමට පෙර ඔවුගේ යටිපතුලෙන් රුධිරය බිංදු කිහිපයක් ගෙන තයිරොක්සීන් ඌනතාව ඇත්දැයි සෙවීම ආරම්භ කැරුණි. එසේ පරීක්ෂා කළ ළමයින් 72471 ක් අතුරින් ළමයින් 40 දෙනකු තයිරොක්සීන් ඌනතාවට ගොදුරුව ඇති බව සොයාගෙන තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ ළදරු උපත් 2000 ට මෙම ඌනතාව ඇති එක් දරුවකු බිහිවන බවයි. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන තියරොක්සීන් හෝමෝනය ඌනතාවයට ළදරුවකු ඉපදී මාසයකට පෙර ප්‍රතිකාර ආරම්භ කිරීමට නොහැකි වුවහොත් එම දුරුවන් මන්ද මානසික තත්ත්වයට ගොදුරුවීමේ ප්‍රවණතාවක් ඇති බව වෛද්‍යවරු කියති. දැනට හඳුනාගත් සියළුම දරුවන්ට ප්‍රතිකාර ආරම්භ කැර ඇති අතර ඒ සියළු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති. තයිරොක්සීන් ඌනතාව හඳුනාගැනීම සඳහා අනිවාර්ය රුධිර පරීක්ෂණය සිදුකරන්නේ දකුණු පළාතේ රෝහල්වල පමණි.