සිරංගිකා ලොකුකරවිට
දකුණු පළාතේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති බැවින් වසා දැමුණු පාසල් හෙට (30) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පැවසීය.
එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ දරුවන්ගේ ජීවිතය පළමු ස්ථානය බවත් අධ්‍යාපනය වැටෙන්නේ ඉන්පසුව බවත් සියලු දෙනා තේරුම් ගතයුතු බවයි. දකුණේ දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයක් අනුව පසුගිය 22 වැනි දා සිට දකුණු පළතේ කලාප කිහිපයක පාසල් හි ප්‍රාථමික අංශ වසා තැබිණි.
අමාත්‍යවරයා පවසන්නේ පාසල් වැසීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිදු තීරණයක් ලබා නොදුන් බවයි. පාසල් වසා දැමීමෙන් පසු අවස්ථා කිහිපයකදීම මෙම රෝගය පැතිරීම පාලනය කිරීම පිළිබඳව හා පාසල් යළි විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඉල්ලා සිටියද මෙතෙක් ඒ පිළිබඳව කිසිදු නිර්දේශයක් ලැබී නැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
"ඉන්ෆ්ලුවන්සා රෝගය දකුණු පළාතේ සීඝ්‍රයෙන් පැතිර යාම පාලනය කිරීමට අපි දකුණේ අධ්‍යාපන කලාප කිහිපයක ප්‍රාථමික අංශ දින කිහිපයක් වසා තැබීමට කටයුතු කළා. මා දන්නා තරමින් මේ රෝගයෙන් කුඩා දරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා වැරදි තොරතුරු සමාජගත වීමෙන් අනවශ්‍ය බියක් ඇතිවෙලා කියලා.
වැරදි තොරතුරු පැතිරෙන්නේ නිවැරදි තොරතුරු නොදෙන නිසයි. නිවැරදි තොරතුරු දෙනවා නම් අපිටත් හරි තීරණයක් ගන්න පුළුවන්. කෙසේ වුවත් අපි හෙට (30) දිනයේ පාසල් සුපුරුදු පරිදි විවෘත කරනවා. පාසල් විවෘත කරාට පසු මේ රෝගය තවදුරටත් පැතිර ගියහොත් හෝ එක දරුවකු හරි මිය ගියහොත් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් විසින් බාරගත යුතුයි."
දකුණු පළාතේ පෙර පාසල් නැවත විවෘත කරන්නේ ජුනි 4 වැනි දා බවත් පළාතේ දහම් පාසල් ලබන ඉරිදාත් ජුනි 3 දක්වා වසා තැබෙන බවත් අමාත්‍ය රාසපුත්‍ර මහතා පැවසීය.