දකුණේ දේශපාලනඥයන් විශ්වාස නෑ -ධර්මලිංගම් සිද්ධාර්ථන්



 
එෆ්.අස්ලම්
 
උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දීමට දකුණේ දේශපාලන බලවේග පියවර ගනී යන විශ්වාසයක් උතුරේ ජනතාව තුළ නොමැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය.
 
උතුරේ ජාතික ප්‍රශ්නය අවියක් කරගනිමින් දකුණේ දේශපාලන නායකයින් බල අරගලයක නිරතව සිටින  බවත් ශ්‍රීලංකාව රටක් විදිහට පසුබෑමේ මූලික හේතුවද ජාතික ගැටලුව බවත් හෙතෙම කීය. 
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක් ගෙන ඒමේ උත්සහාය ද ව්‍යර්ථ වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පාර්ශ්වයව ජාතික ප්‍රශ්නය ඉත්තෙක් කරගනිමින් දේශපාලන වාසියට හරවා ගැනීමෙන් බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නම් අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ සහාය අවශ්‍ය බවත්   කීය.
 
ජනාධිපතිවරයාට අගමැතිවරයාට අමතරව ජාතික ගැටළුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගින්ද දෙමළ ජාතික සන්ධානය මේ ගැන සාකච්ඡා කර තිබෙන බවත් ඒ සියලු පාර්ශවයන් සුබවාදීව පිළිගත්තද බල අරගලය එහි ප්‍රධානම බාධාව වී තිබෙන බවත් සිද්ධාර්ථන් මහතා කීය.
 
දෙමළ ජනතාව එක්සත් ලංකාවක් තුළ සමගියෙන් ජීවත් වීමට බලාපොරොතුතු වන බවත් එම බලාපොරොත්තුව ඉටුකරලීම සදහා දෙමළ ජනතාවට වගකිව යුතු දේශපාලන පක්ෂය වශයෙන් දෙමළ ජාතික සන්ධානය දකුණේ සියලුම දේශපාලන පාර්ශ්ව හා නිල වශයෙන් සාකච්ඡා කොට එම පාර්ශ්වයන්ගේ සහාය මත ජාතික ගැටලුව විසඳා ගැනීමට මූලිකත්වය ගතයුතු බවත් පැවසීය.
 
යුද්ධය අවසන් වූ රටක සියලු ජාතීන් සාමයෙන් සහජීවනයෙන් ජීවත් කරලීමට නම් දේශපාලන බේද නොසලකා සියලුම දේශපාලන බලවේග හා නායකයින් මෙකී ගැටළුව ගැන මානුෂිකව බැලිය යුතු බවත් එය ඔවුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බවත් සිද්ධාර්ථන් මහතා අවසන් වශයෙන් සදහන් කළේය.