දකුණේ උණට එන්නත් දීම ප්‍රතිඵලදායක නෑ - සෞ.සේ. අධ්‍යක්‍ෂක



 
   
සිරංගිකා ලොකුකරවිට

 
දකුණේ මේ දිනවල පැතිර යන වෛරස් රෝගයට පෞද්ගලික අංශයෙන් ලබාදෙන එන්නත් දෙක එතරම් ප්‍රතිඵලදායක නොවන බවත් රජයෙන් මෙම එන්නත් ලබා නොදෙන්නේ රෝගය පාලනයට එයින් එතරම් දායකත්වයක් නොලැබෙන නිසා බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පවසයි.
 
මෙම රෝගී තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් පිරිසක් මිය යාමත් සමඟ එම රෝගයෙන් වැළකී සිටීම සඳහා එන්නත් දෙකක් ලබාගත යුතු යැයි මතයක් දෙමාපියන් අතර පැතිර යන අතර මෙම එන්නත් දෙක තම දරුවන්ට ලබාදීම සඳහා මේ දිනවල දකුණේ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවලට බොහෝ දෙනා පැමිණෙනු දක්නට ලැබේ. 
 
මෙලෙස දරුවන්ට දෙනු ලබන්නේ ඉන්ෆ්ලුවන්සා එන්නත සහ නියුමො කොකල් එන්නතයි. මේ සම්බන්ධව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා මෙසේ පැවසීය.
 
"යම් පුද්ගලයකුට ජීවිතකාලය තුළ වරින්වර ලබාගැනීමට නියමිත එන්නත් විශාල ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. මේවා විශේෂඥයින් විසින් දිය යුතු බවට සනාථ කරගත් එන්නත්. ලංකාවේ යම් එන්නතක් නිර්දේශ කිරීම සිදු කරන්නේ විශේෂ කමිටුවක් මගින්, විශේෂඥයින් විසින් සිදු කරන විද්‍යාත්මක ක්‍රමයකටයි.

මේ එන්නත් ක්‍රියාවලිය සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක්, කාලයක් හා ශ්‍රමයක් වැය කරනවා. එන්නතක් ලබා දෙන්නේ යම් නිශ්චිත වෛරස් වර්ගයක් සඳහා පමණයි. නමුත් මේ දිනවල පවතින උණ රෝගය වෛරස් වර්ග තුනකින් හැදෙනවා. එන්නතක් දීම තුළින් මේ අවස්ථාවේ රෝගය පාලන කිරීමේ හැකියාවක් නැහැ. පෞද්ගලික අංශයෙන් මේ දිනවල ලබාදෙනවායැයි කියන එන්නත් දෙක මේ උණ රෝගයට එතරම් ප්‍රතිඵලදායක නොවන්නේ ඒ නිසයි.  රජය තීරණයක් අරගෙන නැහැ මේ කාලයේ පවතින උණට එම එන්නත් ලබාදිය යුතුයි කියලා. අවශ්‍යතාවයක් තියෙනවා නම් කොතරම් මුදලක් ගියත් රජය ඒ එන්නත් ලබාදේවි."