දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල ජනපති අතින් ආරම්භ කෙරෙයි


හම්බන්තොට ප‍්‍රදේශය වර්ණවත් කරමින් පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ සමාරම්භ උළෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (8) පස්වරුවේ හම්බන්තොට වෙරළ තීරයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණ. ක‍්‍රීඩා උළෙලේ නිල ගීතය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක‍්‍රීඩා උළෙලේ නිල ලාංඡුනය ලෙස යොදාගෙන තිබෙන ශ‍්‍රී ලංකාවේ පාරම්පරික නර්තනයක් වන ‘සළුපාලිය’ නර්ථන ශිල්පීන් පෙරටු කරගෙන තරගාවලියට සහභාගි වන රටවල්වල කණ්ඩායම් උත්සවයට පැමිණියේය. උත්සව සභාව ඇමතූ ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ මෙම ක‍්‍රීඩා උළෙල හම්බන්තොට ජනතාවගේ පමණක් නොව සමස්ත ශ‍්‍රී ලංකාවේම ක‍්‍රීඩා උළෙලක් බවයි. නාවික හමුදා නිලධාරීන් දකුණු ආසියානු ඔලිම්පික් ධජය එසවීමෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ඇරයුමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ක‍්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කළ බව සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි යන භාෂා තුනෙන්ම නිල වශයෙන් නිවේදනය කළේය.
(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා)
වෙරළ කී‍්‍රඩා උළෙල නිල වශයෙන් ආරම්භ කරන ලද බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිවේදනය කරන ලද අවස්ථාව..