දක්ෂිණ අධිවේග සංවර්ධන ව්‍යාපෘතියේ චීන ජාතිකයෙක් අතුරුදන්


 
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)


මාතර හම්බන්තොට නව දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ වැඩට පැමිණ චීන ජාතික තරුණයෙකු දන්දෙනිය රක්ෂිතයේ තඹගල ප්‍රදේශයේදී  අතුරුදන් වී ඇතැයි තිහගොඩ පොලීසිය පවසයි.


ඉකුත් 12 වන දින රාත්‍රි කාලයේ දී 33 හැවිරිදි ඔහු දන්දෙනිය රක්ෂිතය දෙසට ගොස් ඇති අතර ඉන් පසුව සිට අතුරුදන් වී තිබේ.


ඔහු ඊට දෙදිනකට පෙර තවත් මිතුරන් තිදෙනෙකු මෙරටට පැමිණ තිබෙන බවත් අධිවේගී මාර්ගයේ රැකියාවට ගිය පළමු දිනම මෙම සිද්ධියට ලක්ව ඇති බවත් පොලීසිය කියයි.


කෙසේ වෙතත් අතුරුදන් වු චීන ජාතිකයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගල,කීපයක් හා ජංගම දුරකතනය කැලෑව තුල තිබී පොලීසිය සොයා ගෙන ඇත.

 

ඊට අමතරව ඔහු සොයා ගැනීම සදහා මාතර යුධ හමුදා කදවුරේ 3 වැනි ගැමුණු හේවා බල ඇණියේ අණ දෙන නිලධාරී මේජර් ජානක ඥාණාධාර මහතාගේ උපදෙස් මත යුධ හමුදා කණ්ඩායම් හයක් අද  (15) පොලීසිය සමඟ එම වනාන්තරය තුළ සෝදිසි මෙහෙයුමක් ආරම්භ අරඹා තිබේ.