ත‍්‍රස්තවාදී ලේබල් ගසා ප‍්‍රගීත්ගේ පරීක්‍ෂණ නොමඟ යැවීමට උත්සහ කරනවා



 
ඩයනා උදයංගනී
 
ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා එල්.ටී.ටී.ඊ යට හෝ වෙනත් කිසිම ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධව නොසිටි බවට ත‍්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක අංශ මෙන්ම ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වූ සියලූ අංශ අධිකරණයට වාර්තා කර තිබියදීත් ඔහු කොටියෙක් ලෙස හංවඩු ගසා පරීක්‍ෂණ නොමග යැවීමට හා යටපත් කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බව එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.
 
ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ බවට රට තුළ මතයක් ඇතිකිරීම ආරම්භ වූයේ ඔහුගේ අතුරුදන්වීමට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ බව හෙළි වූ පසුව යැයි කී ඇය එතෙක් කිසිවෙකුත් ඔහු කොටියෙක් යැයි කීවේ නැතැයි ද සඳහන් කළාය.
 
මෙය දේශපාලන වාසි ගැනීමේ අරමුණින් පතුරුවන අසත්‍ය ප‍්‍රචාරයක් පමණක් බව ද ඇය කීවාය.
 
එමෙන්ම සමාජ මාධ්‍යජාලා ඔස්සේ මේ දිනවල තමන්ට හා දරුවන්ට මරණ තර්ජන එල්ල කරන අය ගැන සොයා බලා තම ආරක්‍ෂාව තහවුරු කර දෙන්නැයි ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින බවද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප‍්‍රකාශ කළාය.
 
මෙම තර්ජනාත්මක ප‍්‍රචාර පළ කිරීමේ කටයුතු මෙහෙයවන්නේ ජනාධිපති උපදේශකවරයෙකු වන උලපනේ සුමංගල හිමියන් බව කී එක්නැලිගොඩ මහත්මිය උන්වහන්සේගේ මුහුණු පොත් පිටුවේ ද එවැනි ප‍්‍රචාර පළ කර තිබෙන බව කීවාය.
 
තමන්ට කුණුහරපයෙන් බනිමින්, තමා මරා දමන බව ආදී තර්ජන කරමින් හා තමාට හෙණ ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන දේ තුළින් පටාචාරාවක බඳු තමාට දැඩි අසාධාරණයක් සිදුවන බව ද ඇය කීවාය.
 
එමෙන්ම තමා ඇමෙරිකානු තානාපතිවරයාට පාවා දෙමින් පතුරුවන විවිධ මඩ ප‍්‍රචාර මේ රටේ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකුට කරන අපහාසයක් බව කී එක්නැලිගොඩ මහත්මිය ඒ ගැන සොයා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද පැවසුවාය.
 
එමෙන්ම මහා සංඝරත්නය පටාචාරාවකට එරෙහිව ගෙන යන වැඩපිළිවෙල නවත්වන ලෙස තමා මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය සඳහන් කළාය.
 
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මේ බව පැවසුවේ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (26)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක